September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රිකට් හදන්න ආ “පරිවර්තන කමිටුව” ක්‍රිකට් තවත් අගාධයකට දක්කන හැටි: එරාන්ගේ ‘මිශ්‍රණය’ සහ තේරීම් කමිටුවේ අශුද්ධ අලකලංචිය!

1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අගාධයෙන් ගොඩගෙන, විනිවිදභාවයෙන් යුතු පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමේ උතුම් අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද්දේ ‘ක්‍රිකට් පරිවර්තන කමිටුවයි’. එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව දෙස බහුතරයක් ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ මහත් බලාපොරොත්තු සහිතවය. නමුත් අද වන විට පැහැදිලි වන්නේ ඒ සියලු බලාපොරොත්තු හුදු හිස් පුස්සක් බවට පත්වෙමින් තිබෙන බවයි.

අතීතයේදී ක්‍රිකට් විනාශ කළ බවට චෝදනා ලැබූ පාලකයින් වෙනුවට, පරිවර්තන කමිටුවේ ආශිර්වාදයෙන් සිදුවෙමින් පවතින්නේ තවත් එක් ‘ශම්මි’ කෙනෙකු හෝ දූෂිත ව්‍යුහයක් නැවත බිහිකිරීමද යන සාධාරණ සැකය දැන් සමාජය හමුවේ මතු වී තිබේ.

නීතිය නවා තේරීම් කමිටුවට රිංගූ ‘ඇකඩමි හිමිකාරිත්වය’

අද වන විට මාධ්‍ය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලින් මෙම අශුද්ධ ක්‍රියාවලිය තවදුරටත් තහවුරු වෙයි. මෙම කමිටුවේ නිර්දේශ මත පත්කළ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු සතුව ලියාපදිංචි පවා නොකළ පෞද්ගලික ක්‍රිකට් ඇකඩමි දෙකක් පවතින බව හෙළි වී තිබේ. මෙය බරපතල සදාචාරාත්මක මෙන්ම නීතිමය ගැටලුවකි.

ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ. ටිංටිං ගැන ඔබ නොදත් කතාව හෙට සිට!

ගැසට් නිවේදනය කුමක් කියයිද?

2025.05.21 දිනැති අංක 2437/24 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ දැක්වෙන නීතිමය රෙගුලාසිවලට අනුව, තේරීම් කමිටු සාමාජිකයෙකුට කිසිදු අයුරකින් පුහුණු කිරීම් (Coaching) කටයුතු සමඟ සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වීමට අවසර නැත.

එසේ තිබියදී, අයැදුම්පත්‍රයේ අසත්‍ය තොරතුරු සපයා හෝ නීතියේ හිඩැස්වලින් රිංගා මෙම පුද්ගලයා තේරීම් කමිටුවට ඇතුළත් වූයේ කෙසේද? බලධාරීන් මේ සඳහා වහා පිළිතුරු දිය යුතුය.

මිනීමැරුම පිටුපස හෙළිවූ අතිශය භයානක යථාර්ථය

මෙම පෞද්ගලික ඇකඩමි කිසිවක් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය යටතේ හෝ නිසි පරිදි ලියාපදිංචි කර නැත. ඉකුත් දා කොළඹ ක්‍රීඩාංගණයකදී 17 හැවිරිදි ක්‍රීඩකයෙකු සහ සේවකයෙකු අතර ඇති වූ ගැටුමකින් සේවකයෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීම පිටුපස ඇති සැබෑ තත්ත්වය සෙවීමේදී හෙළිවූයේ, අදාළ ක්‍රීඩකයා පුහුණුව ලබා ඇත්තේ වෙනත් අයෙකුගේ නමින් පවත්වාගෙන යන මෙම තේරීම් කමිටු සාමාජිකයාගේම ඇකඩමියකින් බවයි.

ළබැඳියාවන් පිළිබඳ බරපතල ගැටලුව (Conflict of Interest)

* අනියම් වාසිය: වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී, තේරීම් කමිටු සාමාජිකයාගේම ඇකඩමියේ ක්‍රීඩකයින්ට හිමිවන අනියම් වාසිය සුළුපටු නොවේ.

* ’හෙළිදරව්ව’: සිදුකළ ගවේෂණාත්මක සොයාබැලීමකදී අනාවරණය වූයේ, ඇකඩමියට ළමුන් ඇතුළත් කිරීමට නම් කෙළින්ම අදාළ තේරීම් කමිටු සාමාජිකයාටම අමතන ලෙස උපදෙස් ලැබෙන බවයි.

ප්‍රභූ ක්‍රීඩා සමාජයක හිතවතුන්ට වරප්‍රසාද බෙදන තිප්පොළක්!

ජනප්‍රිය පුවත්  සුචරිතවාදයෙන් බැටකන ජවිපෙ ආණ්ඩුකරණය සහ දියවී යන බල සංකේන්ද්‍රණය

තොරතුරු වාර්තා වන අන්දමට සමස්ත ක්‍රිකට් පරිවර්තන ක්‍රියාවලියම කොළඹ පිහිටි එක්තරා ප්‍රභූ ක්‍රීඩා සමාජයක් කේන්ද්‍ර කරගනිමින්, ඔවුනොවුන්ගේ හිතවතුන්ට වරදාන සහ වරප්‍රසාද බෙදාදෙන තිප්පොළක් බවට පත්ව ඇත. චෝදනාවට ලක්ව සිටින තේරීම් කමිටු සාමාජිකයාද මෙම ක්‍රීඩා සමාජය සමඟ සමීප සබඳතා පවත්වන්නෙකි.

මොවුන්ගේ පළමු කාර්යය වූයේ 2027 දක්වා නිල කාලය තිබූ පැරණි තේරීම් කමිටුව නීති විරෝධී ලෙස ධුරවලින් ඉවත් කිරීමයි. එහිදී අදාළ සාමාජිකයන් නඩු මගට යාම වැළැක්වීම සඳහා මහජන මුදලින් රුපියල් ලක්ෂ 100කට වැඩි මුදලක් වන්දි ලෙස ගෙවීමටද මෙම පරිවර්තන කමිටුව කටයුතු කර තිබේ.

එලෙස නීතිය හිතුවක්කාර ලෙස නමමින්, ක්‍රීඩා පනතේ රෙගුලාසි උල්ලංඝනය කරමින් තම හිතවතුන් පත්කර ගැනීමට කටයුතු කිරීම හරහා අද වන විට බරපතල ළබැඳියාවන්ගේ ගැටුම් සහ අක්‍රමිකතා රැසක් නිර්මාණය වී ඇත.

ජනාධිපතිතුමනි, වහා මැදිහත් වන්න!

රටේ ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කිරීමට පැමිණි “ක්‍රිකට් පරිවර්තන කමිටුව” අද වන විට ක්‍රීඩා පනතේ රෙගුලාසි පවා තඹ සතයකට මායිම් නොකරන තත්ත්වයකට පත්ව ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වහාම මැදිහත් වී මෙම දූෂිත ජාලය සහ අක්‍රමිකතා නතර කිරීමට පියවර නොගතහොත්, සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යහපත් පරිවර්තනයක් සිදුවීම නොව, ක්‍රිකට් ක්‍රීඩාව සදාකාලිකවම තවත් අගාධයකට පරිවර්තනය වීම පමණි!

ජනප්‍රිය පුවත්  ලොව බේරෑ චීනය

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x