August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. – වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

1 min read

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

එම එකමුතුව විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, බුදුදහමට සහ ආගමික ඉගැන්වීම්වලට නිග්‍රහ කරන යූටියුබ්කරුවන්ට එරෙහිව පොලිසියට සහ පොලිස් කොමිසමට පැමිණිලි කළද කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම පසුගිය ජූලි 07 වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ෂානක්කියන් සහ සුමන්තිරන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණ, මඩකලපුව ඇතුළු උතුරු-නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ වාර්තා වෙනස් කිරීමට බලපෑම් කර ඇති බවට අභ්‍යන්තර තොරතුරු ලැබී ඇති බවද ඒ මහතා අනාවරණය කළේය. බෞද්ධ සිද්ධස්ථාන හින්දු කෝවිල් ලෙස පෙන්වීමටත්, තමන්ට හිතවත් පුද්ගලයන් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර ගැනීමටත් මෙහිදී උත්සාහ දරා ඇති බවටද චෝදනා එල්ල විය.

තවද, දැනට පවතින නීති රීති ලිහිල් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර “උරුම කාර්යාංශයක්” පිහිටුවීමට සූදානම් වන බවත්, එමගින් දෙපාර්තමේන්තුවේ පවතින බලතල දුර්වල කර පළාත් මට්ටමේ ආයතනවලට පැවරීමේ නීතිමය පදනමක් සකස් වෙමින් පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

ඊට අමතරව, කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගෙන ඒමට සූදානම් වන සත්ව සුබසාධන පනත මගින් 1907 සිට පැවැති ආඥා පනත අහෝසි වන බවත්, එමගින් සංස්කෘතික හා ආගමික පෙරහැරවල අලි ඇතුන් භාවිත කිරීමට දැඩි බාධා එල්ල වන බවත් පෙන්වා දෙන ලදී.

මෙවැනි පනතක් යටතේ අලියෙකුට සිදුවන සුළු තුවාලයකට පවා විහාරාධිපති හිමිවරුන්ට සිරදඬුවම් සහ දඩ නියම විය හැකි බැවින්, දැනට පවතින නීති මගින් සත්ව හිංසනය වැළැක්විය හැකි පසුබිමක මෙවැනි නව පනත් ගෙන ඒම අතිශය අනවශ්‍ය මෙන්ම බෞද්ධ සංස්කෘතික උරුමය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගයක් බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවට එරෙහිව හාමුදුරුවෝ 8000ක් කොළඹට!

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,

“මේ වන විට වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු බෞද්ධ ශිෂ්ටාචාරයට එරෙහිව දියත් වන ප්‍රහාර මාලාව එක්තරා උච්චතම අවස්ථාවකට ළඟා වෙමින් තිබෙනවා.

අපි දන්නවා පසුගිය කාලයේ යූටියුබ්කරුවන් කිහිපදෙනෙක්, තමන් මාධ්‍යවේදීන් ලෙස හඳුන්වා ගනිමින්, බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරනවා, ආගමික ඉගැන්වීම් විකෘති කරනවා. ඒ කිසිවකට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නැහැ. අපි පොලිස්පතිතුමාටත් පැමිණිලි කළා, පොලිස් කොමිසමටත් පැමිණිලි කළා. නමුත් ඔවුන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, අවම වශයෙන් අවවාදයක්වත් ලබා දෙන්න තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් කිසිදු ප්‍රතිචාරයක් අපට දැනගන්න ලැබුණේ නැහැ.

පන්සලකට කඩා වැදී භික්ෂූන් වහන්සේලාට පහර දෙනවා. බුදු පිළිම වහන්සේ පවා අත්අඩංගුවට ගන්නවා. ජනාධිපතිතුමා කියනවා ජනතාව උතුරට යන්නේ ජාතිවාදී අරමුණකින්, උතුරේ වැඳුම් පිදුම් කරන්නේ ජාතිවාදී හැඟීමකින් කියලා. එතකොට නාගදීපයට යන මනුස්සයාත් ජාතිවාදී හැඟීමකින් යනවාද? නමුත් කිසි දවසක එවැනි වන්දනා ගමන්වලදී කිසිදු ගැටුමක් හෝ බාධාවක් වාර්තා වෙලා නැහැ. නැති තත්ත්වයක් මවා පෙන්වමින්, ජාතිවාදී සහ බෙදුම්වාදී බලවේග සතුටු කිරීම සඳහා ආණ්ඩුව මේ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ෂානක්කියන් සහ සුමන්තිරන් සේවකයන් ඉවත්ව ගිය පසු සවස හතරයි තිහට පමණ, පසුගිය ජූලි 7 වැනිදා පැමිණ තිබෙනවා. අපට ලැබී ඇති අභ්‍යන්තර තොරතුරු අනුව, ඔවුන් මඩකලපුව සහ උතුරු-නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ වාර්තා වෙනස් කරන්න බලපෑම් කර තිබෙනවා. ඒවා ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර බෞද්ධ සිද්ධස්ථාන හින්දු කෝවිල් ලෙස පෙන්වීමේ ක්‍රියාන්විතයකට සහාය ලබා ගැනීම තමයි අරමුණ කියලා අපට දැනගන්න ලැබෙනවා.

ජනප්‍රිය පුවත්  මෙරට ජනතාවගෙන් 84%ක් ඇස් දන්දීමට කැමැත්ත පළකරයි

එපමණක් නොව, උතුරු සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරුන් ලෙස තමන්ගේ අවශ්‍යතා අනුව කටයුතු කරන පුද්ගලයන් පත් කිරීමටත් උත්සාහ කරන බව දැනගන්න ලැබෙනවා. ඒ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මූලික වී කටයුතු කරන බවත් පෙනෙනවා. තවත් කාරණයක් නම්, පුරාවිද්‍යා විශේෂ උපාධියක් අවශ්‍ය නොවන ආකාරයට බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කර තමන්ට අවශ්‍ය පුද්ගලයන් පත් කිරීමට උත්සාහ කරන බවයි.

අපි දන්නවා, රාජපක්ෂ ආණ්ඩුව සමයේ උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගැනීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කළා. එම කාර්ය සාධක බලකාය ස්ථාන 800කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ගැසට් කිරීමට නිර්දේශ කළා. නමුත් ඉන් පසු එම ක්‍රියාවලිය නතර වුණා. අද වන විට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුම සහිතව උතුරු හා නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමේ ක්‍රියාන්විතයක් ආරම්භ වී තිබෙන බව ඉතා පැහැදිලියි.

ඊට අමතරව, දැනට පවතින නීති රීති ලිහිල් කර බෞද්ධ උරුමය විනාශ කිරීම පහසු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර ‘උරුම කාර්යාංශයක්’ පිහිටුවීමට සූදානම් වෙනවා. එම කාර්යාංශය යටතට පුරාවිද්‍යා ස්ථාන පමණක් නොව, සාහිත්‍යය, කලාව සහ අනෙකුත් සංස්කෘතික උරුමයන් ද ඇතුළත් කර, පවතින බලතල දුර්වල කර පළාත් මට්ටමේ ආයතනවලට ඒවා පැවරීමට උත්සාහ කරන බවට තොරතුරු තිබෙනවා. මේ සඳහා නව නීතියක් ද සකස් වෙමින් පවතින බව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කතාබහට ලක්ව තිබෙනවා.

ඊට සමගාමීව කෘෂිකර්ම අමාත්‍යාංශය සත්ව සුබසාධන පනතක් ගෙන එනවා. එම පනත මගින් 1907 සිට ක්‍රියාත්මක වූ සතුන්ට අමානුෂික ලෙස සැලකීම වැළැක්වීමේ ආඥා පනත අහෝසි කිරීමට සූදානම් වෙනවා. එම පැරණි පනතේ දේශීය සංස්කෘතියට සහ ආගමික චාරිත්‍රවලට යම් ගෞරවයක් දක්වා තිබුණා. විහාර දේවාලගම් පනත මගින් විහාර හා දේවාල සතු ඉඩම් ආරක්ෂා කර තිබුණා. නමුත් අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ එම ඉඩම් පවා අහිමි කරන ආකාරයේ සංශෝධන ගැනයි.

ජනප්‍රිය පුවත්  ගැඹුරු පීඩන අවපාතය හෙට පස්වරුවේ මෙරටට ඇතුළුවන ලකුණු!

2017 පොලිස් වාර්තාව අනුව සතුන්ට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් පුද්ගලයන් 770 දෙනෙකුට නඩු පවරා තිබෙනවා. එහෙම නම් දැනට පවතින නීතිය ක්‍රියාත්මක වනවා. එසේ තිබියදී අලුත් පනතක් අවශ්‍ය වන්නේ ඇයි? 2006 සිටම මෙවැනි උත්සාහයන් තිබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේත් එවැනි යෝජනා ඉදිරිපත් වුණත් ජාතික බලවේගවල විරෝධය හේතුවෙන් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ.

සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ නාමයෙන් ගෙන එන මේ පනතේ සැබෑ අරමුණ වන්නේ පෙරහැරවල අලි ඇතුන් භාවිත කිරීම සහ ආගමික චාරිත්‍රවලට බාධා කිරීම බව අපගේ අදහසයි. අපේ බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන්නේ පෙරහැර, ධාතු කරඬුව වැඩමවීම සහ ඒ ආශ්‍රිත චාරිත්‍ර වාරිත්‍රයි. ඒවා මගින් ජනතාව සංස්කෘතිය සමඟ බැඳී සිටිනවා.

මෙම පනත යටතේ අලියෙකුගේ කකුලේ දම්වැලක් නිසා කුඩා තුවාලයක් ඇති වුවද, එහි වගකීම සම්පූර්ණයෙන්ම අලියාගේ හිමිකරුට පැවරෙනවා. එම අලියා පන්සලකට අයත් නම්, විහාරාධිපති හිමියන්ට පවා අවුරුදු දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම විය හැකියි. එවැනි තත්ත්වයක් තුළ කිසිවෙකුත් ආගමික කටයුතු සඳහා අලි ඇතුන් ලබාදීමට හෝ රැකබලා ගැනීමට උනන්දු නොවනු ඇත.

මේ සියල්ල සැලකීමේදී, දැනට පවතින නීතියෙන් ඉටුවන කාර්යයන්ම ඉටු කළ හැකි අවස්ථාවක, මෙවැනි නව පනතක් ගෙන ඒම අතිශය අනවශ්‍ය සහ ප්‍රශ්නකාරී ක්‍රියාමාර්ගයක් ලෙස පෙනී යනවා.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x