August 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අද සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

1 min read

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද (06 වැනිදා) සිට ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව,බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ (05 වැනිදා) පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝටන් ප්‍රදේශයෙන් වාර්තා විය. එම ප්‍රදේශයෙන් මිලිමීටර් 115 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා වූවේය.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එල්.එස්.සූරිය බණ්ඩාර කියා සිටියේ ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය මට්ටමක පැවැතියද සාමාන්‍ය වර්ෂාපතනයක් යටතේ ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමේ හැකියාවක් පවතින බවය.

ජනප්‍රිය පුවත්  කාලිංඝ මාඝ පාලනයට එරෙහිව මහා සංඝ රත්නය එකතු වෙනවා…! - දඹර අමිල හිමි…

පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ (05 වැනිදා) උදෑසන වනවිටදී වර්ෂාපතනයේ යම් අඩුවීමක් පෙන්නුම් කෙරුණද, මහවැලි ගඟ සහ කැලණි ගඟ ඉහළ ද්‍රෝණියෙන් වැඩිම වර්ෂාපතන තත්ත්වයක් වාර්තා වූ බවද ඔහු පැවසුවේය. නොර්ටන්, වටවල ආදී ප්‍රදේශවලින් මිලිමීටර් 100 ත් 125 ත් අතර වර්ෂාපතන තත්ත්වයක් වාර්තාවූ බවද ඔහු කියා සිටියේය. කිතුල්ගල, නෝරවුඩ් ආදී ප්‍රදේශවලින් මිලි මීටර් 50 ත් 100 ත් අතර වර්ෂාපතන තත්ත්වයක් වාර්තා වන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

කොත්මලේ ජලාශයෙන් තත්පරයට ඝන අඩි 130 ක පමණ ජල ධාරිතාවක් නිදහස් කිරීමේ කටයුතු ඊයේ (05 වැනිදා) පෙරවරු 7 ට ආරම්භ කෙරුණි. ජලාශයට ලැබෙන ජල ධාරිතාව ඉහළ යාම නිසා මෙලෙස ජලාශයේ ජලය නිදහස් කිරීමට කටයුතු කෙරෙන බවද අධ්‍යක්ෂවරයා කීවේය.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති නිසා මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොළුව,ගඟ ඉහළ කෝරලය, ගඟවට කෝරලය සහ හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අද (06 වැනිදා) පස්වරු 1 දක්වා කාලය තුළදී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (05 වැනිදා) පස්වරු 1 ට නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

ජනප්‍රිය පුවත්  අමෙරිකානු අවහිරතා ඉවත් කිරීමෙන් පසු හෝමූස් හරහා පළමු ඉරාන තෙල් නැව යාත්‍රා කරයි

පොල්ගොල්ල ජලාශයේ හැරවුම් වේල්ලේ වාන් දොරටු තුනක් අඩි පහයි අඟල් තුන බැගින් විවෘත කර ඇති අතර, එහි වාන් දොරටු හරහා තත්පරයට ඝන අඩි 13510 ක් පහළට මුදා හරින්නේය.

කැලණි ගඟේ ජල මට්ටම නෝර්වුඩ් මිනුම් මධ්‍යස්ථානය ආසන්නයේදී සුළු වැඩිවීමක් පෙන්නුම් කළද එම ජල මට්ටම වර්ධනය වීමට තරම් වර්ෂාපතන තත්ත්වයක් ඊයේ (05 වැනිදා) පෙරවරුව දක්වා වාර්තාවී නොතිබුණු බවද ඔහු පැවසීය.

කළු ගඟ ආශ්‍රිතවද රත්නපුර ප්‍රදේශයෙන් ජල මට්ටම අනතුරුදායක මට්ටමක් පෙන්නුම් නොකරන බවද ඔහු කියා සිටියේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලය, දෙල්තොට, පස්බාගේ කෝරලය, දොළුව, මැදදුම්බර, පන්විල, උඩ පළාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, අරණායක සහ දැරණියගල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ,අඹගමුව, නොර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටද, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අවධානයෙන් පසුවීමේ නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් කලාපයේ සියලුම පාසල් තුන්වන දිනටත් ඊයේ (05 වැනිදා) දිනයේදී වසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් උපදෙස් ලබාදී ඇත.

ජනප්‍රිය පුවත්  ඉරානය සමඟ තේ ගණුදෙනුවලට ගියොත් අපිට මොනවා වෙයිද?

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැනින් තැන සිදුවන ජල ගැලීම් පිළිබඳව ස්ථිර විසඳුම් සෙවීම සඳහා අදාළ ආයතන නියෝජනය කරමින් විශේෂ කමිටුවක් පත්කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාගැනීම සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පැවසුවාය.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ කමිටුව පෙරේදා (04 වැනිදා) පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පැවැති අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව කියා සිටියාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x