“මහානායකලා අප එක්ක නෑ !” අධිකරණ ඇමැති වැලපෙයි ! ජාත්‍යන්තර විනිසුරු සංගමයත් එරෙහි වේ !
1 min read
ඊයේ (03) ගෞරවණීය මහානායක ස්වාමින්වහන්සේලා බැහැදැකීම පිණිස මහනුවර බලා පිටත්ව ගිය, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, නැවත කොළඹට පැමිණ ඇත්තේ බලාපොරොත්තු සුන් වී ය.
කොළඹට පැමිණෙමින් සිටිය දී ඔහු තම සමීප හිතවතකුට දුරකථනය මගින් පවසා ඇත්තේ “මහානායකලා අපි එක්ක නෑ ! නාමල් මේක අතට අරන් “ලීඩර් ශිප්” එක දේවි. ඒකට ඉඩ දෙන්න බෑ. මිනිහව ඇතුලට දාලා හරි මේක අපි කරනවා” කියාය.
අධිකරණ ඇමතිවරයා හදිසියේම මහනුවරට පැමිණ තිබුණේ, අගවිනිසුරු, දේවගැති සූරසේනගේ ධූර කාලය දෙවසරකින් දික්කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාධාරණීකරණය කිරීම සඳහා ය. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ඔහු මහානායක හිමිවරු බැහැදැක තිබුණද, මාධ්‍යයට ඇසෙන පරිදි මහානායක හිමියෝ අදාළ ව්‍යවස්ථා සංශෝධනය හෙලා දැකීමට කටයුතු කළහ.
මේ අතර, ඔහු සමග මෙම නුවර ගමනට එක් වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින්, කොළඹ එන ගමන් දුරකථනය මගින් ජනාධිපතිවරයාට වාර්තා කර ඇත්තේ, ගමනේ අරමුණු ඉටු නොවූ බවය.
“අපට කලින් නීතිඥ සංගමයෙ සභාපති ගිහිල්ලා ඔළුව කාලා තිබුනෙ. ඒ ස්ථාවරය වෙනස් කරගන්න මහානායකලගෙ සූදානමක් තිබුණේ නෑ” යනුවෙන් ඔහු ජනාධිපතිවරයාට පවසා තිබේ.
මේ අතර, හෙට (05) ජනාධිපතිවරයා මහනුවරට ගොස් මහානායකහිමිවරු බැහැදැකීමට නියමිතය. එම ගමනට පෙර අද (04) ජනාධිපතිවරයාගේ ව්‍යාපාරයක මිතුරක වූ මලික් සමරවික්‍රම මහානායක හිමියෝ බැහැදැක උන්වහන්සේලාගේ ස්ථාවරය වෙනස් කිරීමේ උත්සාහයක් ද ගැනීමට නියමිතව තිබේ.
මේ අතර, සුරසේන දිගුව සඳහා ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව, ජාත්‍යන්තර විනිසුරු සංගමය ද ප්‍රකාශයක් ඊයේ නිකුත් කර තිබේ. එමගින් ද පෙන්වා දී ඇත්තේ මෙම පියවර අධිකරණයේ ස්වාධීනත්වයට බලවත් හානියක් ගෙන දෙනු ලබන බවය. එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳ එම සංවිධානය සමීපව නිරීක්‍ෂණය කරනු ලබන බව ද එම ප්‍රකාශය මගින් අවධාරණය කර තිබේ.
ඒ අනුව, අධිකරණ සේවා සංගමයේ ද, පොදුරාජ මණ්ඩලීය නීතිඥ සංගමයේ ද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ද, ජාත්‍යන්තර විනිසුරු සංගමයේ ද (International Association of Judges – IAJ), ත්‍රෛයිනිකායික මහානායක හිමිවරුන්ගේ ද බලවත් විරෝධය නොසලකා, ආණ්ඩුව තවදුරටත් මෙම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය කරගෙනයාම බරපතල දේශපාලන අවධානමකට ගොදුරුවීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
- රවිදු ජයතිලක

