පුත්තලම සිට පොතුවිල් දක්වා ධීවර තහනම තවදුරටත්
1 min read
දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා කියාසිටියේ, දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනයවී ඇති බවය.
කෙසේවෙතත් පුත්තලම සිට පොතුවිල් දක්වා වූ මුහුදු තීරයේ තවදුරටත් දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවයක් ගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.
පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදේ රැකියාවේ නිරත වන කුඩා හා එක්දින ධීවර යාත්‍රා සඳහා පනවා ඇති තහනම නැවත දැනුම්දෙනතුරු බලාත්මක වේ.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මුහුදේ ස්වභාවය යහපත් වූ වහාම මෙම තහනම ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීය.
පසුගිය දින කිහිපය තුළ කාලගුණ නිවේදන නොසලකා මුහුදු ගිය මන්නාරම, කල්පිටිය, හලාවත සහ මීගමුව ප්‍රදේශවල ධීවරයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය කණගාටුව පළ කර සිටියේය.
ඒ හේතුවෙන් ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කරන නිල නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඕනෑම ප්‍රදේශයක රැකියාවේ නිරත වන විට අනිවාර්යයෙන්ම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටින ලෙසත් නැවතත් අවධාරණය කළේය.
