July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නව දිල්ලිය යුද පිටියක් කළ ඉන්දියාවේ විභාග ප්‍රශ්නපත්‍රය

1 min read

විවෘත විභාග ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර පිටවීම මුල්කරගෙන ආරම්භ වූ ඉන්දීය තරුණ විරෝධතාවයක් මේ වනවිට රාජ්‍ය විරෝධී කැරැල්ලක මුහුණුවරක් ගෙන තිබේ.

විරෝධතාවලින් නව දිල්ලිය ඊයේ (21) යුද පිටියක් බවට පත්වූ අතර පොලිස් ප්‍රහාරවලින් තරුණ තරුණියන් රැසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

නවදිල්ලි නුවර පැවැත්වෙන මෙම විරෝධතාවට එක්වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමත් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ.

මෙම විරෝධතාව මේ වන විටත් ක්‍රියාත්මකයි.

ඉන්දීය මධ්‍යම රජයේ අධ්‍යාපන ඇමති ධර්මෙන්ද්‍ර ප්‍රධාන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රට තුළ මහජන විරෝධයක් ආරම්භ වූයේ පසුගිය ජුනි මාසයේ සිටයි.

ඒ ගෙවුණු මැයි මාසයේදී එරට වෛද්‍යවිද්‍යාල ප්‍රවේශය සඳහා පැවති විවෘත විභාගයක ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර පිටවීම මුල්කරගනිමිනි.

අපේක්ෂකයින් මිලියන 2.3කට බලපෑම් ඇතිකළ මේ විභාග වංචාව සම්බන්ධව වගකීම භාරගෙන අධ්‍යාපන ඇමති ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් පසුගිය ජුනි 28 වැනිදා සිට මානව හිමිකම් ක්‍රියාකාරී සෝනම් වන්චුක් උපවාසයක ද නිරත වුණි.

ඊට සහාය පළ කරමින් ජූලි 18 වැනිදා ඉන්දියාවේ නූතන තරුණ ව්‍යාපාරයක් වන කොක්රෝච් ජනතා පක්ෂය එනම් කැරපොත්තා ජනතා පක්ෂයේ නායක අභිජීත් ඩීප්කේ ද උපවාසයක් ආරම්භ කළේය.

ජනප්‍රිය පුවත්  ආපදා වන්දි ලක්ෂ 50 දෙන්නේ තක්සේරුව ලක්ෂ 50ක් නම් පමණයි!

ප්‍රශ්න පත්‍ර වංචාව පිළිබඳ පාලක භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ඔවුන් පාර්ලිමේන්තුව දක්වා පාගමනක් ආරම්භ කළේ පසුගිය සඳුදායි.

රජය ඊට ප්‍රතිචාර දැක්වූයේ නවදිල්ලි අගනුවර ආරක්ෂාව තරකරමින්ය.

තරුණ තරුණියන් දහස් ගණනින් එක්වූ මෙම නැවුම් විරෝධතා ව්‍යාපාරය අයෝමය හස්තයකින් දැඩිව මර්දනය කිරීමට ඉන්දීය රජය කටයුතු කළේය.

එහිදී පොලිස් ප්‍රහාරයට ලක්ව විශාල පිරිසක් තුවාල ලැබූ අතර, තවත් 70 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුණි.

මේ අතර, පාර්ලිමේන්තුව අසලට රැස්වූ තරුණ විරෝධතාකරුවන්ට විපක්ෂයේ සහාය ද හිමිවුණේ එය හුදෙක් අධ්‍යාපන අමාත්‍යවරයා ඉලක්ක කළ විරෝධතාවකින් ඔබ්බට ගෙන යමින්ය.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ඊට මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ සහාය හිමිව තිබුණි.

පොලීසියේ මුෂ්ඨි ප්‍රහාර හෝ ඇදහැලුණු වැසි නොතකමින් නවදිල්ලි අගනුවර රැඳී සිටි විරෝධතාකරුවන් අතරට විපක්ෂ මැති ඇමතිවරුන් ද එක්වුණේ ඊයේ දිනයේදී යි.

එලෙස පැමිණි පිරිස අතරට විපක්ෂ නායක රාහුල් ගාන්ධි, ඔහුගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි මෙන්ම දශකයට ආසන්න කාලයක් නවදිල්ලි මහ ඇමති ධුරය දරා පසුගිය මැතිවරණයේදී පාලක BJP පක්ෂය හමුවේ පරාජයට පත්වූ අරවින්ද් කෙජ්රිවාල්ද අයත් වුණි.

ජනප්‍රිය පුවත්  මැදපෙරදිග කලාපයම දැවැන්ත අවදානමක! ඉරානයෙන් සහ හූතිවරුන්ගෙන් ලෝකයටම දරුණු අනතුරු ඇඟවීමක්!

කෙසේ නමුත් වඩාත් දැඩි සේ කටයුතු කළ ඉන්දීය පොලීසිය මෙහිදී විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කෙරුණි.

ඉන් පසුව X පණිවිඩයක් තැබූ රාහුල් ගාන්ධි අවධාරණය කර තිබුණේ ප්‍රශ්න පත්‍ර වංචාව පිළිබඳ වගකීම භාරනොගන්නා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සහ අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා දෙදෙනාම වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

ආරම්භ කර මාස තුනකින් විශාල තරුණ ආකර්ෂණයක් දිනා ඇති මේ තරුණ ව්‍යාපාරය දැඩිව මර්දනය කිරීමට ඉන්දිය රජය කටයුතු කරමින් සිටින්නේ, ගෙවුණු වසර 4ක කාලය තුළ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය වැනි ඉන්දියාවට අසල්වැසි දකුණු ආසියාතික රටවල පැවති ශිෂ්‍ය ව්‍යාපාර, ආණ්ඩු පෙරළා දැමීමට තරම් ප්‍රබල වූ පූර්වාදර්ශයක් සපයා ඇති පසුබිමක යි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x