“එට්කා ගිවිසුම ඉන්දියාවේ ශ්‍රී ලංකාවට අදාළව භූ දේශපාලනික න්‍යායපත්‍රය සමග ගැටගැහිල තියෙන්නේ.. ගිවිසුමේ සැබෑ තත්ත්වය රටේ පොදු ජනතාව දන්නේ නැහැ” – වෛද්‍ය වසන්ත බණ්ඩාර
1 min read
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත එට්කා (ETCA) වෙළඳ ගිවිසුම පිළිබඳව මෙරට සාමාන්‍ය ජනතාව නිවැරදි තොරතුරු නොදන්නා බවත්, එහි සැබෑ බරපතලකම ඔවුන්ගෙන් සැඟවී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
Jaya TV නාලිකාවේ විකාශය වූ “The Challenge” දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ, එට්කා ගිවිසුම ඉන්දියාවේ ශ්‍රී ලංකාවට අදාළව භූ දේශපාලනික න්‍යායපත්‍රය සමග ගැටගැසී ඇති බවත්, මෙම ගිවිසුම බරපතළ ගිවිසුමක් බවත් ය.
ඉන්දියාවේ මහා භාරත් න්‍යාය තුළ භූතානය, නේපාලය, සිකීමය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය පවා අර්ධ යටත්විජිත ලෙස ඉන්දියාවට ඈඳාගැනීමේ සූක්ෂම වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද ඒ මහතා මෙහිදී අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට, දේශීය ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට මෙමඟින් එල්ල විය හැකි අභියෝග පිළිබඳව දීර්ඝ කාලයක සිට සමාජය දැනුවත් කිරීමට තම ව්‍යාපාරය කටයුතු කර ඇති බවත්, මෙවැනි ගිවිසුම් හරහා රටේ ස්වෛරීභාවයට සිදුවන බලපෑම පිළිබඳව ජනතාව මීට වඩා අවධානයෙන් පසුවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
