July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගොවි ණයට වැලිකන්දේ ගොවීන්ගේ බඩුමුට්ටු වෙන්දේසියට

1 min read

නියං සායට ගොදුරු වූ සඳුන්පිටිය ගමේ බැලු බැලූ තැන ගුරු පාට මිසක් කොළ පැහැයක් නැති තරම්ය. වැව්, අමුණු, වක්කඩවල්වල තිබූ තෙතමනය හිරුගේ ගිනියමෙන් වාෂ්ප වූ ලකුණු හැම තැනය. වැව් අමුණුවල තෙතමනය පමණක් නොව, බැංකුවේ නෝනා මහත්වරුන්ගේ ළයේ තෙතමනයත් රුපියල් සත ඉදිරියේ වාෂ්ප වී ඇති බවක් අපට කල්පනා වූයේ ගිය සතියේ පුවත්පතක පළවූ දැන්වීමක් දුටු විටය. පිස්කල් වෙන්දේසියේ විකිණීමට එම දැන්වීම පළකර තිබුණේ උසාවියේ රෙජිස්ට්‍රාර් හා පිස්කල් තැනය. ඒ දැන්වීමේ කිසිදු දොසක් නැත, නීත්‍යනුකූලය. දැන්වීමේ සඳහන් වන ආකාරයට පැමිණිලිකරු මූල්‍ය සමාගමකි. එදිරිකරුවෝ සඳුන්පිටිය ගම්මු පස්දෙනෙකි. මූල්‍ය සමාගමෙන් මේ පිරිස ගත් ණය මුදලේ වටිනාකම රුපියල් ලක්ෂයට අඩුය. වාරිකය ගෙවීමට අසමත් වීම නිසා හිඟ මුදල් හා පොලී ඇතුළුව ඔවුන්ට දැන් ගෙවන්නට ඇති මුළු මුදලේ වටිනාකම රුපියල් අනූ නවදහස් අටසිය අනූවයි සත හතළිස් හයකි. එම මුදල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා මේ මස 24 වැනිදා වැලිකන්ද, නවසෙන්පුර, සඳුන්පිටිය ගමේ පස් දෙනකුගේ දේපොළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කර අනූනවදහස් අටසිය අනූවයි සත හතළිස් හයක මුදලක් අයකර ගනු ඇත්තේය.

වෙන්දේසියට තබා ඇති දේපොළ අතරේ අත් ට්‍රැක්ටරයක්, ට්‍රේලරයක්, මඩවීල් දෙකක් හා රොටරියක් ඇත්තේය. එහි අරුත ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී ඇත්තේ ගොවීන් පිරිසක් බවය. ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ගත් ණය මුදල අයකර ගැනීමට වෙන්දේසි කිරීමට පළකර ඇති තවත් දැන්වීමක කැඩිච්ච කැබිනෙට්ටුවක්ද, ප්ලාස්ටික් පුටු එකොළහක්ද තිබුණේය. එය දුටු අපගේ නම් ළය තෙත් වූවේය.

මෙතුවක් කල් වාඩි වෙන්නට තිබූ ප්ලාස්ටික් පුටු කබල් ටිකද, රෙදි කෑලි දෙක තුන දමා තිබූ කැඩිච්ච අල්මාරියද ගොවිතැන් කළ අත් ට්‍රැක්ටරයද වෙන්දේසි වූ කල මේ මිනිසුන්ට යන කලදසාව කුමක් වේවිදැයි කල්පනා කරමින් සඳුන්පිටියට යන ගමන ඇරඹුවෙමු.

සඳුන්පිටිය ඇත්තේ පොළොන්නරුව- මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්දෙන් හැරී සිංහපුර හරහා යන විටය. එම ගම් හැඳින්වෙන්නේ මහවැලි ව්‍යාපාරයේ අවසාන ගම් ලෙසය. වැලිකන්ද ටවුමේ සිට කිලෝමීටර් තිහක් පමණ දුර ගෙවා ගිය විට හමුවන මේ ගම් යුද්ධය ඇති කාලයේ කොටින්ගෙන් හොඳටම බැට කෑවේය. කොටි මදිවාට අලින්ගෙන්ද බැට කෑවේය. අලි, කොටි මදිවාට දැන් සඳුන්පිටිය ගම්මු බැට කන්නේ මූල්‍ය සමාගම්වලිනි.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගුලේ පැටලී ගෙදර දොරේ බඩුමුට්ටු අහිමිකර ගැනීමේ ඛේදවාචකයට මුහුණ පා සිටින සඳුන්පිටිය, නවසෙන්පුර ගමේ අලබඩ ආරච්චිගේ සිරියාවතීද සිටින්නීය. පනස් පස් වියැති ඈද පටාචාරාවකි. වෙනසකට ඇත්තේ එදා පටාචාරාට පිහිට වන්නට බුදුන් වහන්සේ සිටිසේක.

ජනප්‍රිය පුවත්  IMF එකෙන් ලංකාවට 2027 ඩෙඩ්ලයින් එකක්: බදු නීති තවත් තද වෙයි; හැංගිලා හිටපු බදුකාරයන් කොටු කරන්න අලුත් ප්ලෑනක්!

‘‘මගේ මහත්තයාට දරුණුම විදිහට වකුගඩු රෝගය හැදිලා තිබුණේ. කුඹුර කරගන්න විදිහක් තිබුණෙත් නෑ. ණය මුදලක් ගත්තා 2022දී, 75,000ක්. පුද්ගලික සමාගමකින්. අපි කණ්ඩායමකටම ණය දුන්නේ. කණ්ඩායමේ හතක් හිටියා. එක්කෙනෙක් මේ​ වෙනකොට මැරිලා. තව කෙනෙක් කොහේද කියලා හොයාගන්න නෑ. අපේ සම්පූර්ණ ණය මුදල ගෙව්වා පොලියත් එක්කම. මගේ මහත්තයත් අවුරුදු දෙකක් ලේ මාරු කර කර බොහොම අමාරුවෙන් ජීවත් වුණා. ඒත් එයත් අපිව දාලා යන්නම ගියා. දැන් අපිට ණය ගෙව්වේ නැත්නම් ගෙදර ළමයා නිදාගන්න ඇඳයි, මම නිදාගන්න ඇඳයි, රෙදි අල්මාරියයි, වාඩිවෙන්න තියෙන ප්ලාස්ටික් පුටු ටිකයි, පරණ ටීවී ස්ටෑන්ඩ් එකයි වෙන්දේසියේ දානවා කියලා ලියුම් එවලා තියෙනවා. අපේ කුඹුරු අත්වී පොරොන්දුවට දීලා තියෙන්නේ. වී බුසල් 50ක් දෙන්න ඕන. මමයි, පුතයි කුඹුර කරන්නේ. ලක්ෂ අටකට තමයි දුන්නේ. අන්තිමට ඇඳිවතත් වෙන්දේසියේ දාන්න වෙයි කියලා බයයි. අද වී මිලත් තුට්ටුවට යන්නේ. අද රුපියල් 93යි. අපි වෙන කෙනකුට ඇප අත්සන් කරපු නිසා තමයි අපේ ඇඳ පුටු මේසත් වෙන්දේසියේ දාන්න යන්නේ’’

සිරියාවතී සුසුම් හෙළමින් හැඬූ කඳුළින් අප සමග පැවැසුවාය.

සිරියාවතීගේ කපරාරු නොකළ ගේ හරියට ම තිබුණේ ප්ලාස්ටික් පු‍ටු 6කි. ඒවාද පරණය. කාමර දෙකෙහි ඇඳන් දෙක සිරියාවතීත් පුතාත් නිදියන ඇඳන්ය. සිරියාවතීගේ ඇඳුම් කඩමාලු ඇති අල්මාරියද වෙන්දේසියේ විකිණෙන්නේය. පරණ ටීවී ස්ටැන්ඩ් එක වෙන්දේසි වන්නේ කීයකට දැයි සිතා ගැනීමටවත් නොහැකිය. එතැනින් අපි තවත් සිය සබ්බ සකලමනාවම වෙන්දේසියේ විකිණීමට නියමිත ගෙදරකට ගියෙමු.

ඒ.එම්. දීපිකා නිලන්ති දසනායක (41) වැලිකන්ද, සඳුන්පිටිය, අංක 15 හි වෙසෙන සිව් දරු මවකි.

“අපි හැමෝ ම ණය ගත්තා කුඹුරු වැඩ ටික කර ගන්න ඕන නිසා. 150,000ක ණය මුදලක් මම තවත් කෙනකුට අරන් දුන්නා මම ඇප වෙලා. නමුත් එයාට ගෙවා ගන්න බැරි වෙලා දැන් වෙන්දේසියේ දාන්නේ මගේ ගෙදර බඩුමුට්‍ටු. අපි ජීවත් වෙන අපේ අත් ට්‍රැක්ටරය, රොටරිය, මඩවීල් ගෙදර තියෙන අනිකුත් බඩුමුට්‍ටු වෙන්දේසියේ දාලා. අපට තව දවස් 10ක්වත් නෑ. මේකෙන් ගැලවෙන්න. ලබන 24 වැනිදා වෙන්දේසියේ දානවා. අපි 5 දෙනෙක් එකතුවෙලා ණය ගත්තේ. ඇප වෙලා ණය අරන් දුන්න කෙනාට ගෙවා ගන්න විදිහක් නෑ. අපි කීවට එයාල කොහෙන්ද ගෙවන්නේ. වී ටික කුණුකොල්ලයට විකුණුවේ. ණය තුරුස් ගෙව්වම බෙහෙත් හේත් ටිකක් ගන්නවත් ළමයින්ගේ ඉගෙනුමටවත් වියදම් කරන්න සල්ලි නෑ. ඇත්තමයි අපිට ලැජ්ජයි මිනිස්සුන්ට මූණ දෙන්නත්. ඒ ඇප වෙලා අරන් දුන්න එකෙන් තව 110,000ක් ගෙවන්න කියනවා. අපි 80,000ක් ගෙව්වා. එකවරම ගෙවන්න කියනවා. අපි මාස් පඩිකාරයෝ නෙවෙයි.’’

ජනප්‍රිය පුවත්  හිරගෙදර සිට කස්සප හිමි ලියූ ලිපිය මෙන්න!

දීපිකාගේ නිවසටම එක් වූ තවත් ගෙවිලියක මේ ණය උගුලේ සිරවී සිටින්නීය. ඇය ඒ.ජී.එස්. මාලනී (72) ය.

‘‘අපි ගත්ත ණය මාසෙන් මාසෙට රුපියල් 10,000ක් 20,000ක් විතර ගෙව්වා. එයාල සති ණය එකතු කරන්න ආවා. ටික කාලෙකින් එහෙම එන එක නැවතුණා. පසුගිය මාර්තු මාසයේත් මම 800,00ක් ගෙව්වා. එහෙම ගෙවලා මාස තුනක් ඇතුළත තවත් ලක්ෂයක් ගෙවන්න කියනවා. ඇයි මෙහෙම අපිව හූරාගෙන කන්නේ? ණය ගත්තේ ගොවිතැන් කරන්න. ගොවිතැන් කරත් අස්වනු හරියට නියම මිලකට විකුණා ගන්න බෑ. කුණුකොල්ලයට දෙන්නේ. අපි කුඹුර බද්දට දීලා තියෙන්නේ. අපිට කියලා දැන් කුඹුරු නෑ.”

මාලනීට පමණක් නොව, බොහෝ ගොවිබිම්වල ගොවි ගෙවිලියන්ට සිදුව ඇත්තේ මෙම සන්තෑසියමය. තමන්ගේ අක්කර දෙකහමාරක කුඹුර හෝ අක්කර එකයි කාලක කුඹුර හෝ එක්කෝ උකසට තබලාය. නැතිනම් වී පොරොන්දුවට මුදල් අරගෙනය. අණු පවුල්වලට හෝ අලුත් පරම්පරාවට කුඹුරු ඇත්තේම නැති ගාණය. වැලිකන්ද, සිංහපුර, සූරියවැව, දිඹුලාන, පැරකුම් යාය යනු මීට දශක දෙකකට පෙර නම් මායිම් ගම්මානයකි. යුද්ධයෙන් බැට කෑ ඔවුහු දැන් අලින්ගේත් වී මෝල්කාරයන්ගේත් අතරමැදියන්ගේත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්කාරයන්ගේත් ගොදුරු බවට පත්ව තිබේ. දිඹුලානේ එක් ගොවියකුගේ නිවස පිටින්ම වෙන්දේසියේ විකිණීමට නියමිතය. අපි එහි යන විටත් ගේ දොර පාළුවට ගොසිනි. කිසිවකුත් නිවසේ පෙනෙන්නට සිටියේ නැත. එක්කෝ ප්‍රදේශය අතහැර ගොසිනි. නැතිනම් වෙන කොහේ හෝ පැලක් අටවාගෙන රහසිගත ජීවිතයක් ගෙවීමට ඉඩ ඇත. පැරකුම්යාය මහවැලි ගම්මානයට ගිය විට එහි තත්ත්වයද එසේමය.

පැරකුම්යාය, අංක 591 හි පදිංචි ඩී.ජී. දුලානි බුද්ධිකා විසිඅට හැවිරිදි දෙදරු මවකි. ජීවන අරගලයෙන්, ණය බරින් මිරිකී සිටින ඈ බලාගෙන සිටියදීම වියපත් වූ සෙයකි. අගහිඟකම් අහස උසටය. සැමියා කුලියක් මලියක් කර ජීවිතය සරිකර ගන්නේය. කුඹුර බද්දට දීලාය. අක්කර එකයි කාලක කුඹුර කන්නයෙන් කන්නයට රුපියල් විසි තිස් දහට බදු දෙන්නේය. පිළිකා රෝගයෙන් පීඩා විඳි සිය මවගේ ජීවිතය ‍රැක ගැනීමට සේසතම විකුණා කුඹුරද බද්දට දී එම මුදල් යෙදෙව්වේය. එහෙත් මවද ජීවිතය හැරදා ගොසිනි. රුපියල් 75,000ක ණය මුදලක් ගත් දුලානි වාරික වශයෙන් අවස්ථා 5කටත් වැඩියෙන් විසි දහස තිස් දහස ගණනේ ගෙවා තිබෙන රිසිට් ඇයගේ පෙට්ටගම අවුස්සා ගෙනැවිත් අපගේ ඇස් ඉදිරියේ තැබීය. ගෙවූ මුදල ලක්ෂයටද වැඩිය. එහෙත් ඇයගේ නිවසේ ඇති පරණ ප්ලාස්ටික් පු‍ටුද පරණ අල්මාරියද ඇඳ ද වෙන්දේසියේ විකිණීමට නියමිතය.

ජනප්‍රිය පුවත්  මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට

“අනේ මහත්තයා, අම්මාට කැන්සර් එකක් හැදිලා හිටියේ. මම පුළුවන් තරම් ඒක හොඳකර ගන්න වියදම් කළා. දැන් එක් ලක්ෂ දහ දාහක් එකවර ගෙවන්න කියලා ලියුම් ආවා. කොහොම හරි ගෙවන්න බලනවා. ඒත් මොනවා දීලද මං මේක ගෙවන්නේ? ණයක් ගන්න බලනවා සියයට 15 පොලියට. ලබන 24 වෙනිදා වෙන්දේසිය. දරුවා නිදා ගන්න ඇඳ පවා වෙන්දේසි වෙනවා.”

ඒ කතාව කියන විට ඇගේ ඇස්වලින් කඳුළු කඩා පැන්නේය. ඉකිගැසුම නවතා ගත නොහැකිව වැළහින්නක සේ හඬා වැ‍ටුණාය. පාසල් යන වයසේ කුඩා දරුවකු ඇ‍ඳෙහි නිදිය. තව දින කිහිපයකින් පසු ඒ නොදරුවාට නිදා ගන්නට ඇඳක් නැත.

‘‘පුතාට උණ හැදිලා ඉන්නේ. අද ඉස්කෝලේ යැව්වේ නෑ’’ යැයි ඇය කීවාය. එකවර එක්ලක්ෂ දස දහසක් ගෙවා ගැනීමට නොහැකිව දුලානි දහ අතේ කල්පනා කරන්නීය. මේ මිනිසුන්ට වූ සන්තෑසිය මින්නේරිය ගොවි ජනපදයේ අවසන් බෙදුම් ඇළ ගොවි සංවිධානය විහාර මාවත බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති නවරත්න හරි අපූරුවට පැහැදිලි කළේය.

“මම අවුරුදු 15 ඉඳන් ගොවි සංවිධානයේ සභාපති හරි ලේකම් හරි වෙලා තියෙනවා. දැන් අවුරුදු 30 හතළිහක් තිස්සේ අපි හිටිය තැනමයි අදත්. ගොවියා කවදාද ගොඩ එන්නේ? මේ ආණ්ඩුව ගේන්න අපි දිවිහිමියෙන් කැප වුණා. 76 අවුරුදු සාපය ඉවරයි කියලා හිතුවා. ඒත් මේ ආණ්ඩුව ගැන දැන් නම් කිසිම විශ්වාසයක් නෑ. මගේත් රත්තරන් බඩු, ගෙදර ළමයින්ගේ නෝනාගේ කනකර බඩු ටික බැංකුවේ සින්න වුණත් කරගන්න දෙයක් නෑ. අපි සාධාරණ මිලක් වීවලට ඉල්ලන්නේ. 140ක් ඉල්ලුවට ආණ්ඩුව ඊළඟ කන්නයේ වී ටිකත් ගන්න යන්නේ 120 ට. නිෂ්පාදන වියදමට සරිලන මිලක් දෙන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. එහෙම මිල වැඩි කරන්න බැරිනම් පිරිවැය අඩු කරන්න ක්‍රමයක් තියෙන්න ඕන. එහෙම නැත්තං පොහොර සහනාධාරය වැඩි කරන්න ඕන.”

ගොවියා කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් කල රජකමට සෑහෙයි යැයි නොක්ස් එදා හෙළදිවේ ලීවාට ආණ්ඩුවේ මැති ඇමැත්තන් කියන හැටියට ඒ පොළොන්නරුවේ, අනුරාධපුරයේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාරේ ගොවියන් ගැන නම් නොවේ. කතාව ඇත්තය. රජකම කෙසේ වෙතත් මේ ගොවියන්ට වී ඇත්තේ දැන් ඇඳගෙන සිටින වැරහැලි ටික හා පැදුරු කඩමාල්ලත් වෙන්දේසි කරන්නටය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x