සුරේෂ් සලේගේ රිට් පෙත්සම විභාග කිරීම 14 වැනිදාට කල් යයි! – සහරාන් සහ FBI වාර්තා ඉස්මතු කරමින් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයේදී කරුණු දක්වයි
1 min read
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ගත් තීරණය අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු වූ අතර, එහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිමය තර්ක සහ ලේඛනගත කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධාරණය යොමු විය.
ඇමරිකානු FBI විමර්ශන සහ දිවුරුම් ප්‍රකාශ
පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සහ ජාත්‍යන්තර විමර්ශන වාර්තා පදනම් කරගෙන සිය සේවාදායකයා නිදොස් බවට තර්ක කළේය.
එෆ්.බී.අයි වාර්තාව:
පාස්කු ප්‍රහාරයෙන් පසුව එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ එකඟතාවයෙන් මෙරටට පැමිණි FBI නිලධාරීන් 33 දෙනෙකු විසින් සිදුකළ ස්වාධීන විමර්ශනවලින් අනතුරුව, ඇමරිකානු දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ ගොනු කළ දිවුරුම් ප්‍රකාශ මඟින් ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ජනක් ද සිල්වා කොමිසම:
සහරාන් හෂීම් විසින් 2018 වසරේ සිටම අයි.එස්.අයි.එස්. (ISIS) මතවාදය පෙරදැරි කරගෙන මහනුවර ඇසළ පෙරහැරට ප්‍රහාර එල්ල කිරීමට සහ වාර්ගික නොසන්සුන්තාවයක් ඇති කිරීමට සැලසුම් කර තිබූ බව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ද සනාථ වී ඇති බැවින්, හිටපු සී.අයි.ඩී. අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න පවසන ආකාරයට මෙහි වගකීම සලේ මත පැටවිය නොහැකි බව විත්ති පාර්ශවය තර්ක කරයි.
බුද්ධි තොරතුරු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භූමිකාව
ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සහ බුද්ධි වාර්තා පරිහරණය කිරීමේදී සිදු වූ අඩුපාඩු පිළිබඳව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු මතු කළේය.
ලැබුණු නිල වාර්තා:
2019 ජනවාරි 25 සිට අප්‍රේල් 20 දක්වා කාලය තුළ සහරාන් ඇතුළු පිරිසේ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එවකට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් වෙත නිල වාර්තා පිටපත් යොමු කර තිබූ බව මෙහිදී ප්‍රකාශ විය.
නිලධාරීන්ගේ ප්‍රකාශ:
කෙසේ වෙතත්, එම බුද්ධි තොරතුරු වාර්තා අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව සැබෑ ලෙසම විමර්ශන සිදු කළ ක්ෂේත්‍ර නිලධාරීන්ට නිසි පරිදි ලබාදී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම සේවය කළ වාසල තන්ත්‍රිගේ ඩයස් පද්මසිරි නැමැති නිලධාරියා ලබාදී ඇති ප්‍රකාශයක සඳහන් වන බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වැඩිදුරටත් උසාවියට දැනුම් දුන්නේය.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සමේ වැඩිදුර විභාගය ලබන ජූලි මස 14 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
