අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට, හක්ක පනින්න ගහපු කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ජයතිලක රටින් පැනලා
1 min read
අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට හක්ක පනිනතුරු පහරදුන් බවට චෝදනා එල්ල වී සිටියදී, මියගොස් ඇතැයි ප්‍රකාශ වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් පරීක්ෂක ජයතිලක නමැත්තා මේ වන විට ප්‍රංසයේ ජීවත්වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
හක්ක පනිනතුරු තමාට පහරදුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් තරුණයෙකු ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නිසංකා ප්‍රනාන්දු මහත්මිය ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
දෙමටගොඩ පදිංචි නිලුක මධුරංග නමැති තරුණයා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සහ එහි පොලිස් පරීක්ෂක ජයතිලක නමැත්තා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පාතාල නායකයකු බව කියන ‘කංජිපාණී ඉම්රාන්’ නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකුට වස දීමට තැත් කළේයැයි කියන සිද්ධියකට අදාළව, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් තමන් අත්අඩංගුවට ගත් බව පවසන පෙත්සම්කරු, එලෙස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් තමාගේ හක්ක පනිනතුරු පහර දුන් බව සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ගේ පහර කෑමෙන් තමාගේ හක්ක පැනීමෙන් පසු ඔවුන් වෙනත් නමකින් තමා රෝහල් ගත කළ බවත්, ඉන් අනතුරුව තමන් මුදා හැර ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරු, එමඟින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කර රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා සිටී.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනුක නන්දසිරි මහතා කරුණු දක්වමින්, මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ දෙවැනි වගඋත්තරකරු වශයෙන් නම් කර ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ජයතිලක නමැත්තා මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඔහුගේ මියයෑම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට තමන් කටයුතු කරමින් සිටින්නේ යැයි කීය.
එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නිසංකා ප්‍රනාන්දු මහත්මිය කරුණු දක්වමින්, දෙවැනි වගඋත්තරකරු මේ වන විට ප්‍රංසයේ ජීවත් වන බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයා බලාපොරොත්තු නොවන බවත් අධිකරණයට දැනුම් දුන්නාය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය නොවැම්බර් 30 වැනිදා දක්වා කල් තැබීය.
