July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන් අසරණයි: මාසයකට වැඩි කාලයක් ‘ලීනියර් ඇක්සලරේටර්’ යන්ත්‍රය අක්‍රියයි – ජීවිත රැසක් අවදානමේ !

1 min read

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති ‘ලීනියර් ඇක්සලරේටර්’ (Linear Accelerator) විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් දකුණු පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පිළිකා රෝගීන් දැඩි ජීවිත අවදානමකට සහ අසීරුතාවකට පත්ව සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනාවරණය කරයි.

පසුගිය ජූනි මස 05 වැනිදා මෙම යන්ත්‍රය බිඳවැටීමට ලක්වූ අතර, සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් එහි අලුත්වැඩියා කටයුතු දින ගණනාවක් තිස්සේ ඇණහිට තිබිණි. පසුව මාධ්‍ය සහ වෘත්තීය සංගම් මඟින් සිදුකළ හෙළිදරව් කිරීම් හේතුවෙන් පසුගිය ජූනි 17 වැනිදා යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් පියවර ගත්ත ද, අද වන තුරුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කර නොමැති බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

  • ප්‍රතිකාර ඇණහිටීමට මෙවර හේතුව AC දෝෂයක්!

යන්ත්‍රය තාක්ෂණිකව අලුත්වැඩියා කළ ද, වර්තමානයේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට බාධාවක් වී ඇත්තේ එම කුටියේ පවතින වායු සමීකරණ පද්ධතියේ (AC) දෝෂයකි. මෙම පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව අදාළ අංශ දීර්ඝ කාලයක සිට දැනුවත් කර තිබුණ ද, මේ වන තෙක් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට රෝහල් පාලනාධිකාරිය හෝ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර නොමැත.

  • පිළිකා රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමක්!
ජනප්‍රිය පුවත්  බාල ගල් අඟුරු පාඩුව කෝටි 224යි! විගණන වාර්තාවකින් හෙළිවෙයි!

විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර සක්‍රියව තබා ගැනීමට නිසි උෂ්ණත්ව පාලනයක් (AC පද්ධතියක්) අත්‍යවශ්‍ය වන අතර, මෙම නොසැලකිලිමත්කම හේතුවෙන් දෛනිකව විකිරණ ප්‍රතිකාර ලැබූ අහිංසක රෝගීන් 80 කට අධික පිරිසකගේ ප්‍රතිකාර කටයුතු අතරමඟ නතර වී තිබේ.

  • දිස්ත්‍රික්ක 5 ක රෝගීන්ට බලපෑම්

සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙකු සඳහා දින 5 සිට 40 දක්වා කාලයක් අඛණ්ඩව විකිරණ ප්‍රතිකාර ලබා දිය යුතු අතර, එය අතරමඟ බිඳවැටීම රෝගය උත්සන්න වීමට සෘජුවම බලපායි.

ගාල්ල කරාපිටිය ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් පමණක් නොවේ.

• ගාල්ල
• මාතර
• හම්බන්තොට
• කළුතර
• රත්නපුර

යන දිස්ත්‍රික්ක පහේම පවතින රෝහල් මඟින් පිළිකා රෝගීන් විකිරණ ප්‍රතිකාර සඳහා යොමු කරනු ලබන්නේ ගාල්ල ජාතික රෝහල වෙතයි. මේ වන විටත් එහි විකිරණ ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස 4 කට වඩා වැඩි පොරොත්තු ලේඛනයක් (Waiting List) පවතින පසුබිමක, මෙවැනි බිඳවැටීම් රෝගීන් මරණය වෙත තල්ලු කිරීමක් බඳුය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය අත්‍යවශ්‍යයි

රෝහල්වල පවතින මෙවැනි වටිනා වෛද්‍ය උපකරණ වරින් වර බිඳවැටීම සහ ඒවා නඩත්තු කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිකම පිළිබඳව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිරන්තරයෙන් බලධාරීන් දැනුවත් කර ඇත.

ජනප්‍රිය පුවත්  එළාර නැවත ඉපදිලා ජාතියෙන් පළිගන්නවා | උතුරේ තියෙන විහාරස්ථානවලට ගිහින් සිල් ගන්න බෞද්ධයන්ට තහනම්ද?

එබැවින්, පවතින බරපතළ තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම මැදිහත් වී ගාල්ල ජාතික රෝහලේ වායු සමීකරණ පද්ධතිය කඩිනමින් අලුත්වැඩියා කර, අසරණ වී සිටින පිළිකා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලෙස එම සංගමය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් දැඩිව ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x