මාතුලන් ! උඹ අපේ එකෙක් !
1 min read
මේ ඉන්නේ අපේ කොල්ලෙකි. අපේ රටේ කොල්ලෙකි. ලක්මෑණියන්ගේ සුජාත දරුවෙකි. 2009 මැයි 18 අපේ රණවිරුවෝ, උතුරේ කොටි ත්‍රස්තවාදය පරදා සාමය උදා නොකළේනම්, මේ අපේ කොල්ලා අද මෙතන නැත. එසේ නොවුණේනම් මේ අපේ කොල්ලා ඉන්නේ සයිනයිඩ් කරලත් බෙල්ලෙ එල්ලාගෙනය. ඒ ඉන්නේ ලක්මෑණිව ජයෙන් සරසන්නට නොවේ. ලක්මෑණිව බෙදා වෙන්කර වෙනම දුබල වැහැරුණු රටවල් දෙකක් බවට පත් කරන්නය. එය එසේ වූයේ නම් මේ අපේ කොල්ලා ද අද මෙතන නැත. මෙය ලියන හා කියවන අපිද අද ඉන්නේ ඉතා බිහිසුණු ඉරණමක ගොදුරුවය.
මුත්තයියා මුරලිදරන් අපට ලැබුනේ මධ්‍යම කඳුකරයෙන්ය. මේ අපේ කොල්ලා අපට ලැබෙන්නේ උතුරේ යාපනයෙන්ය. අපේ කොල්ලාගේ නම කුගදාස් මාතුලන් ය. ඔහු තරග වදින්නේ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ය.
ලක්මෑණියගේ ගෙල සැරසිය යුත්තේ විවිද පැහැයන්ගෙන් දිදුළණ මිනිමුතු වලිනි. ඒ පැහැයන් සහිත මිනිමුතු අතර කුගදාස්ලා ද විය යුතුය. මොහොමඩ් ශිරාස්ලා ද සිටිය යුතුය. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම සිටිය යුතුය. විවිද අනන්‍යතා ඇත්තේ බෙදෙන්නට නොව බැඳෙන්නටය. හෙමි හෙමිහිට වුවත්, බොහෝ බාධා මැද වුවත් මේ වෙමින් තිබෙන්නේ එයමය.
රණවිරුවා නොමැත්තේනම් මේ දරුවා අද මෙතන නැත. රණවිරුවා කළේ මේ දරුවාට මෙතැනට එන්න ඉඩ සලසාදීමය. මල් පීදෙන්නට උවමනා හිරු එළියට තිබූ බාධා ඉවත් කිරීමය. දැන් ඉතින් මල් පිපෙමින් තිබේ. එය බාධාවකින් තොරව එසේම සිදුවන්නට ඉඩ හැරිය යුතුය. යළි මතු කවරදාවත් මේ පිබිදෙන එකමුතුව බිඳ දමන්නට ඉඩ නොදිය යුතුය.
පුංචි කාලේ අප අත වූ පොතක මෙසේ ලියැවී තිබුණා මතකය. මතක හැටියට එය මෙසේය.
“සාමා එන්න ! මල් පිපී ඇත්දැයි බලන්න !”
සාමා ! මල් පිපී ඇත. ඒ වෙනුවෙන් මග පෑදූ විරුවන් කිසිදා අමතක නොකරන්න. ගුණමකු නොවන්න. ඒ ගෞරවය බිම නොතබන්න ! එසේ වුවහොත්, මෙබඳු මල් තව තවත් බොහෝ සේ පිපෙනු නිසැකය. එයට ඉඩ දෙන්න !
කුගදාස් මාතුලන්, ඉන්දියාවේ A කණ්ඩායම සමග පැවති ක්‍රිකට් තරඟයේ දී බාරගත්තේ අභියෝගාත්මක අවසන් “සුපර්” ඕවරය යැවීමටය. කොළඹ “ටෙඩිබෙයා” පවුලක දිවි ගෙවූ තරුණයකු නොවන නිසා ඔහුට ඒ ආතතිය දරා ගත හැකිය. අනිත් පැත්තේ පන්දුවට පහර දෙන්නට හිටියේ ඉන්දියානු A කණ්ඩායමේ පට්ට වැඩ්ඩන්ය. එහෙත්, කුගදාස් මාතුලන්ගේ ලසිත් මාලිංග පන්නයේ පන්දු යැවීම හමුවේ පට්ට වැඩ්ඩන් පට්ට අසරණ විය. ඒ අසරණබව පරාජය ලෙස හැගෙන විට ඔවුන්ගේ පීඩනය පිටවූයේ අශෝබන අයුරින්ය.
ඔව් ! අපි එකමුතුව මුහුණ දුන්නොත් ලොව ඕනෑම වැඩ්ඩන් අපිට නතිංය ! කුගදාස් ! අපි බෙදුනොත්, උන් පැඩ්ඩත් අප සුංය !