ඉන්ධන – විදුලිය යළි නග්ගයි !
1 min read
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි ජුනි මාසය ඉක්මවා ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දිය නොහැකි බව තෙල් සංස්ථාවේ නිලධාරින් පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අණාවරණය කළේය.
ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ අවශ්‍යතාව වී ඇති බව කියතත් සැබෑ ලෙසම ඉන්ධන පරිභෝජනය වැඩි වී ඇත්තේ බාල ගල් අඟුරු මගින් නිපදවන විදුලිය ධාරිතාව අඩු වී ඇති නිසා, ඉතිරි විදුලිය ජනනය කිරීමට ඩීසල් යොදා ගැනීමට සිදුව ඇති බැවිනි. බලශක්ති අමාත්‍යවරයාම ප්‍රකාශකර තිබෙන පරිදි, හදිසි “ස්පොට් ටෙන්ඩරය” දැමීම මගින් ගෙන්වන ලද ගල් අඟුරු නැව් 5 න් 5 වැනි නැවේද ගල් අඟුරු බාල බව සනාථ වී තිබේ.
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මීට පෙර මාධ්‍ය හමුවකදී පැවසුවේ තනිකර ඩීසල් නැවක ඇති ඉන්ධන තොගයම විදුලිය නිපදවීමට ලබාදීමට සිදුව ඇති බවයි.
මෙම මාසය නිමාවනවාත් සමගම ඉන්ධන මිල ඉහල දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ හා සමගම විදුලිය ගාස්තු ද 20% කට වැඩි අනුපාතයකින් ඉහල දැමීම කෙරෙහි ද බලධාරින්ගේ අවධානය යොමුව තිබේ.
මේ බව ජනාධිපතිවරයා ලිඛිතවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා යවා ඇත.
- සන්දීප සූරියාරච්චි –
