ජැකලින් ෆර්නැන්ඩස්ගේ ‘රජයේ සාක්ෂි’ උපාය වැරදෙයි : සියලු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඉන්දීය අධිකරණයෙන් නියෝග!
1 min read
ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් සහ ඉහළ නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 200ක මුදලක් වංචා කිරීම සහ කප්පම් ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා ලබා සිටින සුකේෂ් චන්ද්‍රශේඛර්ගේ ආන්දෝලනාත්මක මුදල් විශුද්ධිකරණ නඩුව නවතම සහ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ.
මීට පෙර තමන් “රජයේ සාක්ෂිකරුවකු” වී සමාව ලබා ගැනීමට ඉදිරිපත් කර තිබූ පෙත්සම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින්ම ඉල්ලා අස්කර ගැනීමත් සමඟ ඇය දැඩි නීතිමය උගුලක සිරවී සිටි අතර, දැන් ඇයට එරෙහිව නිල වශයෙන් වංචා චෝදනා ගොනු කිරීමට නවදිල්ලියේ පටියාලා හවුස් (Patiala House) අධිකරණය නියෝග කර ඇත.
අධිකරණයේ දැඩි නිරීක්ෂණය
මෙම සිදුවීම කරළියට පැමිණි දා සිට ජැකලින් ෆර්නැන්ඩස් දිගින් දිගටම ප්‍රකාශ කළේ තමා සුකේෂ්ගේ මායාවන්ට සහ රැවටීම්වලට හසු වූ අහිංසක වින්දිතයෙකු (Victim) පමණක් බවයි. එහෙත් ඉන්දියාවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (ED) අධිකරණය හමුවේ ගොනු කළ කරුණු සලකා බැලූ අතිරේක සැසි විනිසුරු ප්‍රශාන්ත් ෂර්මා එම තර්කය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.
අධිකරණය නිරීක්ෂණය කර ඇත්තේ සුකේෂ් චන්ද්‍රශේඛර්ගේ සාපරාධී පසුබිම පිළිබඳව හොඳින්ම දැනුවත්ව සිටියදී පවා, ජැකලින් ඔහු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් වංචනික ලෙස උපයාගත් මුදල්වලින් සක්‍රීය ලෙස ප්‍රතිලාභ ලබාගෙන ඇති බවයි.
අධිකරණ ප්‍රකාශය..,
“අපරාධවලින් උපයාගත් මුදල් භාවිතය සහ එහි සැබෑ ස්වරූපය වසන් කිරීම සඳහා විත්තිකාර ජැකලින් ෆර්නැන්ඩස්, සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ එක්ව ක්‍රමානුකූලව කටයුතු කර ඇති බවට ප්‍රමාණවත් මූලික සාක්ෂි (prima facie material) පවතී.”
කෝටි ගණනක තෑගි සහ විදේශ ගිණුම්වලට ගිය මුදල් මල්ල
නඩු වාර්තාවලට අනුව, සුකේෂ්ගේ සාපරාධී අතීතය පිළිබඳව සම-විත්තිකාරියන් වන පින්කි ඉරානි සහ ලීපාක්ෂි එල්ලාවඩි විසින් ජැකලින්ව දැනුවත් කර තිබියදීත්, ඇය දිගින් දිගටම රුපියල් කෝටි 5.71ක් වටිනා සුඛෝපභෝගී තෑගි භුක්ති විඳ ඇත. මීට අමතරව ඇගේ පවුලේ සාමාජිකයන් වෙතද කප්පම් මුදල් ගලා ගොස් ඇති ආකාරය විමර්ශකයින් විසින් ඔප්පු කර තිබේ:
සහෝදරිය (ජෙරල්ඩීන් ජේ. වෝකර්) – විදේශ බැංකු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් 172,000ක් (ඉන්දීය රුපියල් කෝටි 1.4කට අධික).
සහෝදරයා (වොරන් ජේ. ෆර්නැන්ඩස්) – ඕස්ට්‍රේලියානු ඩොලර් 26,000ක් (ඉන්දීය රුපියල් ලක්ෂ 10කට අධික).
දෙමාපියන් – අපරාධ මුදල් මගින් මිලදී ගත් සුඛෝපභෝගී මෝටර් රථ.
මුලදී මෙම මෝටර් රථ පිළිබඳ කරුණු වසන් කිරීමට උත්සාහ කළද, පින්කි ඉරානිගේ ජංගම දුරකථන දත්ත හරහා සාක්ෂි ඉදිරිපත් කිරීමත් සමඟ තමන්ට එම වාහන ලැබුණු බව පිළිගැනීමට ජැකලින්ට සිදුවිය.
වැරදිකරු වුවහොත් සිදුවන නීතිමය බලපෑම
අතිරේක සැසි විනිසුරු ෂර්මා ප්‍රකාශ කළේ, ඉන්දියාවේ ප්‍රබලතම පනතක් වන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ (PMLA) 3 වැනි වගන්තිය යටතේ වන වරද ජැකලින් විසින් සිදු කර ඇති බවට දැඩි සැකයක් මතු කිරීමට සාක්ෂි පවතින බැවින්, ඇයට එම පනතේ 4 වැනි වගන්තිය යටතේ දඬුවම් නියම කිරීමට ප්‍රමාණවත් පදනමක් පවතින බවයි.
මීට පෙර “රජයේ සාක්ෂිකාරියක” වී නිදහස් වීමට තිබූ අවස්ථාව ඇය විසින්ම අහිමි කර ගැනීම නිසා, දැන් ඇයට සිදුව ඇත්තේ සාමාන්‍ය විත්තිකාරියක ලෙස කූඩුවට නැග තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමටය. නීති විශාරදයින් පවසන්නේ මෙම නීතිමය උගුලෙන් මිදීමට ජැකලින්ට ඇති මාවත ඉතා පටු සහ අසීරු එකක් වනු ඇති බවයි.
බොලිවුඩ් සිහිනය සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය කඩාවැටීමේ අවදානමක
සුකේෂ් සහ ජැකලින් අතර තිබූ අතිශය සමීප සබඳතාව දැක්වෙන සේයාරූ මීට පෙර සමාජ මාධ්‍ය කැළඹූ අතර, මෙම නව අධිකරණ නියෝගයත් සමඟ ඇයගේ බොලිවුඩ් රංගන ජීවිතයට මෙන්ම ජාත්‍යන්තර සන්නාම තානාපති (Brand Ambassador) භූමිකාවන්ටද මරු පහරක් එල්ල වී තිබේ.
රුපියල් කෝටි 200ක මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවේ සුලමුල සොයන ඉන්දීය බලධාරීන් ඉදිරියේ, ජැකලින් ෆර්නැන්ඩස්ගේ සිනමා ජීවිතයේ අනාගතය පමණක් නොව ඇයගේ නිදහස ද මේ වන විට බරපතළ අවදානමකට ලක්ව ඇත.
