June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොම්රේඩ් අනුර.. සදා සැනසීම ඔබමය..!!

1 min read

අප අතිගරු ජනාධිපති ශ්‍රීමතාණෝ පසුගියදා තම බේගල් විදින මුඛයෙන් ප්‍රකාශ කර සිටියේ, ලංකා විදුලිය බල මණ්ඩලයේ විදුලිය ඒකකයක් විකුණනු ලබන මිල එහි නිෂ්පාදන පිරිවැයට අනුකූලව තීරණය විය යුතු බවයි. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ප්‍රතිපත්තිය තමන් ද හිස් මුදුනින්ම පිළිගන්නා බවත් අප මහා ජනාධිපති උතුමානෝ වැඩිදුරටත් සිය බේගල් විදින අවයවයෙන් පවසා සිටියාහ.

ජනාධිපති වීමට පෙර ජීවත් වූ අනුර කුමාර අද ජීවතුන් අතර නැත. ඔහු අද ජීවත්ව සිටියානම්, මේ ජනාධිපති අනුර කුමාරගෙන් මෙහෙවු වඳුරු කුණුහරුප අහන්නට තරම් අප අවාසනාවන්තයින් වන්නේ නැත. එදා ජීවතුන් අතර සිටි අනුර කුමාරනම්, මෙවැනි පිරි-වැය අනුව මිල තීරණය කර බර පිට බර මහජනයා මත පටවන්නට කිසිවකු ක්‍රියා කළහොත් කිසි ලෙසකිනවත් ඉවසන්නේ නැත. එසේ වුවේ නම්, ඒ අනුර කුමාර මෙලහකට කට උල්කරලාය. දකුණු අතේ ඇඟිලි ගුලි කරලාය. කල්පනා කරලා බලන ලෙස අපට කීප වතාවක්ම මතක් කරලාය. ඒ අනුර අපට අහිමි වීමේ පාඩුවනම් කියා නිමකරන්නට බැරිය.

මේ ජනාධිපති අනුරයා, ඒ ජනාධිපතිවරණයට පෙර සිටි අනුර කුමාර සහෝදරයාට චුට්ටක්වත් සමාන නැත. ජනාධිපති අනුරයා, කියන්නේ පිරිවැය අනුව විදුලිය බලයේ මිල තීරණය කිරීමේ IMF ප්‍රතිපත්තිය තමන් ද පිළිගන්නා බවය. අහෝ ! ඒ අනුර කුමාර අද ජීවතුන් අතර නැත්තේ අපගේ අවාසනාවටය. ඔහු සිටියේනම් මෙලහකට ජනාධිපති අනුර කුමාරගේ දත්ටික බඩට යවා බඩවැල් ද එළියට ගෙන අවසන්ය.

ජනාධිපති අනුර කුමාර “පිරිවැය” හදන්නේ කෙසේද? එසේ අසන්නේ ජනාධිපතිවරණයට පෙර සිටි අප හද බැඳගත් අනුර කුමාර කොම්රේඩ්ය. කොම්රේඩ් අනුරට අනුව පිරිවැය හැදෙන්නේ මෙහෙමය.

“විදුලිය අද වැඩිපුර නිපදවන්නේ සුනිත්‍ය විදුලිය බලයෙන් නොවේ. ඒ වෙනුවට තාප බලාගාර වලින් ය. තාප බලාගාර යනු ඉන්ධන දහනය කර හෝ ගල් අඟුරු දහනය කර හෝ උත්පාදනය වන තාප ශක්තිය විදුලිය බලය බවට පත්කිරීම සිදුකරන බලාගාරය. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර් අතුල මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව තාප බලාගාර වලින් එක් විදුලි ඒකකයක් රුපියල් 100 ට වඩා වැඩි මිලට මිලදී ගන්නා බවය. එසේ කරන්නේ වෙසක් දවසේ ද දහවල් කාලයේ විදුලිය විසන්ධි කර සූර්ය විදුලිය ජනනය අත්හිටවන ලෙස මහජනයා වෙතින් ඉල්ලමින්ය.

ජනප්‍රිය පුවත්  හාන මල් පැල !

බාල ගල් අඟුරු ගෙනාවේ මහජනයා නොවේ. ආණ්ඩුවය. බාල ගල් අඟුරු නිසා නියමිත විදුලිය ප්‍රමාණය ජනනය කළ හැකි වූයේ නැත. ඒ නිසා ආණ්ඩුව කලේ ලෝක වෙළඳපොලෙන් වැඩිම මිලට (බැරලය ඇ.ඩො. 186 ට !) ඩීසල් මිල දී ගෙන හිඟ විදුලිය ධාරිතාව පොසිල ඉන්ධන වලින් නිපදවීමය. ධම්මික පෙරේරාගේ හේලිස් සමාගම තමන් ලබාගත් ස්පොට් ටෙන්ඩරයෙන් ගෙන ආ ගල් අඟුරු නැවක් ද 16% ට වඩා අළු වලින් පිරුණු ගල් අඟුරු නැවක් බව පසුගිය දා අණාවරණය විය. මේ සියල්ලෙන්ම වෙන්නේ ගල් අඟුරු හා පොසිල ඉන්ධන පුච්චා උපදවන අධි-මිලැති විදුලිය ඉපදවීම වැඩි වීමය.

දැන් එය එසේ වූයේ මැද පෙරදිග යුද්ධය නිසා ද? බාල ගල් අඟුරු ලංකාවට එව්වෙ ජනාධිපති ට්‍රම්ප් විසින් ද? ලොව වැඩිම “ප්‍රමියම්” අගයක් ගෙවා වැඩිම මිලට ඩීසල් බැරලය මිල දී ගන්නේ වෙන කරන්නට කිසිවක් නොමැති නිසාද? නෑ.. සහෝදරවරුනි, මේවායෙන් කෙරෙන හොරකම නතර කලේ නම්, උපදවන විදුලියේ පිරිවැය ඉහළ නොයන්නේය.”

ඒ ඔබ අමතා කතා කළේ ජනාධිපතිවරණයට පෙර ජීවතුන් අතර සිටි අප ලය මඩල සුව යහනක් බවට පෙරළාගත් කොම්රේඩ් අනුර කුමාරය. අපේ අවාසනාවට අද ඔහු ජීවතුන් අතර නැත. ඉන්න තැනක් ගැන ආරංචි මාත්‍රයක්වත් ඇත්තේ නැත. ඔහු නැති පාඩුව ගණනින් කොපමණදැයි කියා නිම කරන්නට ද බැරිය. ඇත්තටම ඔහු නැති වූයේ අපේම කරුමෙටය. ඔහු සිටියේනම්, මේවා මෙහෙම වෙන්නට ඉඩ දෙන්නේම නැත. ඒ ගැන ආයේ කතා දෙකක් ඇත්තේම නැත.

ජනප්‍රිය පුවත්  ජනපතිගේ පැමිණිල්ලට ''නෝ ඇක්ෂන්!''

ඒ විතරක් නොවේ. ඒ අනුර කුමාර ජීවතුන් අතර සිටියේනම් රුපියල වැටිල්ලෙන් සිදුවන විදුලිය පිරිවැයේ ඉහළයාම ගැන කොහොමනම් අපට කියාදෙනු ඇත්ද? අපටනම් හිතෙන්නේ ඔහු එය කියනු ඇත්තේ මෙසේ කියාය.

“බලන්න සහෝදරවරුණී, මේ අවුරුද්දෙ පළමු මාස 4 ට විතරක් අපේ රුපියල 5.4% කින් අවප්‍රමාණය වුණා. ඒ කියන්නේ, අපි පිටරටින් ආනයනය කරන හැමදේටම දැන් මාස 4 කට කලින් තිබුන ගාණට වඩා රුපියල් වැඩිපුර ගෙවන්න වෙනවා කියන එක. එතකොට විදුලිය දැන් වැඩිපුර නිපදවන්නේ ඩීසල් වලින්! නැත්නම් ගල් අඟුරු වලින්. ගල් අඟුරු බාල නිසා, ඒකෙන් උපදවන්න බැරිවෙන විදුලිය ප්‍රමාණය උපදවන්නෙත් ඩීසල් වලින්. මේ හැමදේම ගේන්නෙ ඩොලර් වලින්. ඩොලරයට ගෙවන රුපියල් ගානට වඩා පසුගිය මාස 4 තුළ 5.4% කින්, ඩොලරයට ගෙවිය යුතු රුපියල් ගාන වැඩිවෙලා තියෙනවා. එතකොට, ඒ කියන්නේ ඒ ගාස්තුව නිසා පමණක් සෘජුවම 5.4% කින් පිරිවැය වැඩි වෙනවා. දැන් ඒක උනේ අපේ වරදින් ද? රුපියල බලාගන්න ඕන අපි ද? ආණ්ඩුව ද? ඒකවත් බලාගන්න බැරිනම් මේ ආණ්ඩු මොකටද? මේවට කියන්න වෙන්නේ හුණ්ඩු කියලා නේද?”

අපේ කොම්රේඩි අනුර කුමාර අද ජීවතුන් අතර සිටියේනම් කතාව මෙතැනින් ඉවර වන්නේ නැත. එසේ සිටියේනම් ඔහු, ජනාධිපති කුමාරයාගේ ද, ජයකොඩි කුමාරයාගේ ද, ගල් අඟුරු හොරකමට අදාළ “ෆයිල්” අතේ ඇතැතිව අපට කියා දෙනු නිසැකය. මුදල් අමාත්‍යාංශයේ ඩොලර් ඔිස්‍ට්‍රෙිලියාවේ වැරදි ගිණුමකට දාපු උන්දලා ගැන අල ගිය වැල ගිය මුල ගිය තැන් එහෙනම් අපට අහන්නට වෙන්නේ ඔහුගෙන්ම ය.

කතාව කොහොමත් තව ඉදිරියට යන්නේය. ජීවතුන් අතර සිටියේනම්, ඊළඟට ඔහු අහන්නේ ඩොලර් බිලියන 2-3 ක් නවීන වාහන ගෙන්වීමට ඔහේ පිච්චුවේ රටේ ඩොලර් තත්වය ගැන නොදැනද කියාය. එසේ ඇසුවේනම් ජනාධිපති කුමාරයාට කට උත්තරවත් ඇත්තේ නැත. ඒ පිච්චිල්ලයි, ආනයන අධෛර්යට පත්කර, අපනයන දිරිගන්වන ප්‍රතිපත්ති වෙනුවට ර‍ට ප්‍රතිවිරුද්දව IMF මත්තෙ නැහැන්නේ අපදැයි, ජීවතුන් අතර සිටියේනම් අද අසන්නේ වෙනින් කවුරුවත් නොව අපේ කොම්රේඩ් ලෙනින් ය. (සමා‍වෙන්න. වැරදුනා .අනුර ය!)

ජනප්‍රිය පුවත්  විරුවන් ස - මරමු!

මේ ජනාධිපති අනුරයා අපේ කොම්රේඩි අනුරයාට ලඟින් තියන්නටවත් බැරිය. ජනාධිපති අනුරයා ඉන්නේ IMF වැඳපුදාගෙනය. ජනාධිපති කුමාරයාට වැඩිපුරම යහපත් චරිත සහතික දෙන්නේ IMF කළමනාකාර අධ්‍යක්ෂකවරිය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ය. ඇයගෙන් ලැබෙන චරිත සහතික වෙතින් සැනසෙන්නට සිදුවන අවාසනාවන්ත ඉරණමකට ජ.වි.පෙ ඇදගෙන ගියේ මේ ජනාධිපති කුමාරයා ය. කොම්රේඩි අනුර කුමාර ජීවතුන් අතර සිටියේනම්, මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ආණ්ඩුව ද ජ.වි.පෙ. ද ඇද වැටෙන්නට කිසි ලෙසකින්වත් ඉඩ දෙන්නේ නැත. කොම්රේඩ් අනුර අපිට නම් එච්චරටම විශ්වාසය. සමන්මලීගේ භාෂාවෙන් කියන්නේනම්, “පට්ට” විශ්වාසය.

එහෙත් අපේ අවාසනාවට දැන් කොම්රේඩ් අනුර කුමාර ජීවතුන් අතර නැත. එක අතකින් ඔහු ජීවතුන් අතර නැති එකද හොඳයි කියා හිතෙන වෙලාවල්ද ඇත. ඔහු ජීවතුන් අතර සිටියේනම්, ඔහුගේද බල නහර කපා මරාදමන ඉරණමකට ඔහුද ලක්වන්නට ඉඩ තිබුණ බව සැබෑය. ඊට වඩානම් කොම්රේඩ් අනුර මෙසේ චුත වී සිටීම අපේ සිතටනම් සැනසිලිදායකය.

දැන් අප සැනසෙන්නේ කොම්රේඩ් අනුර, බල නහර කපා ගැනීමකින් තොරව මිය ගිය බව සිහිකරය. ආණ්ඩුවට ඡන්දය දුන්නවුන්ට එහෙම හරි සැනසෙන්නට කාරණාවක් උවමනාය. ඒක දුන්නෙත් කොම්රේඩ් අනුරමය!

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x