අගවිනිසුරුගේ විශ්‍රාම දිනය පැනලා මාස හතක් වෙනවා.. වහා පරීක්‍ෂණ කරන්න.. – රෝහිණී කවිරත්න
1 min read
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ විශ්‍රාම ගැන්වීමේ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය රජයෙන් ඉල්ලා සිටියි.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරිය චෝදනා කළේ, අගවිනිසුරුවරයා තවත් වසර දෙකක කාලයක් ධුරයෙහි තබා ගැනීමට රජය උත්සාහ කරන්නේ සිය අභිමතය පරිදි මෙහෙයවිය හැකි රූකඩයක් අධිකරණ පද්ධතියේ ඉහළම තනතුරේ තබා ගැනීමේ අවශ්‍යතාව මත බවයි.
හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සමයේ නිකුත් කරන ලද, දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන නිල ලේඛනයකට අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2026 ජනවාරි 12 වනදා විශ්‍රාම ගත යුතු බව ඇය පෙන්වා දුන්නාය.
එම ලේඛනයේ සඳහන් අනෙකුත් සියලුම විනිසුරුවරුන් නියමිත දිනට විශ්‍රාම ගොස් ඇති බවත්, අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් පමණක් මෙම ගැටලුව මතු වී ඇති බවත් ඇය සඳහන් කළාය.
“මාස හතක් තිස්සේ ඉහළ උසාවිවල විනිසුරු පුරප්පාඩු අටක් පවතිනවා. නමුත් සුදුසුකම් සහිත විනිසුරුවන් පත් නොකර රජය කටයුතු කරන්නේ නීතිය යනු පාලකයාගේ කැමැත්ත බව තහවුරු කිරීමටයි. මෙම ලේඛනය අසත්‍යයක් නම් වහාම විමර්ශනයක් පවත්වා එය රටට හෙළි කළ යුතුයි,” යැයි ද මන්ත්‍රීවරිය අවධාරණය කළාය.
කෙසේ වෙතත්, රෝහිණී කවිරත්න මහත්මියගේ මෙම ප්‍රකාශයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය දැඩි විරෝධය පළ කළාය.
