නැවතත් IMF සරණ යන්න රහසිගත මෙහෙයුමක් !
1 min read
ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර 17 වැනි වතාවට ඇතිකරගෙන තිබෙන වත්මන් ගිවිසුම් කාලය 2027 මාර්තුවල දී නිමාවෙන බැවින්, 18 වැනි වතාවට එය සමඟ ගිවිසුම් ගතවිය යුතු ද යන පැණය ජ.වි.පෙ. අභ්‍යන්තරයේ මේ වන විට සාකච්ඡාවට බඳුන්වෙමින් තිබේ.
එහිදී ජ.වි.පෙ. ඉහළ නායකත්වයේ බහුතරයක මතය වී ඇත්තේ, 2027 මාර්තු සිට නව ගිවිසුමකට යාම මහජන පීඩනය වැඩි කිරීමට හේතු විය හැකි බවයි. එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව තමන් පක්‍ෂයක් ලෙස දරන ලද මතය එමඟින් නිශේධනය වීම සිදුවන බවත් එම පිරිස පෙන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර මෙහිදී නිශ්චිත එක් ස්ථාවරයක සිටින බව නොපෙන්වා, මූල්‍ය අරමුදල සමග තවදුරටත් ඉදිරියට යාමේ තිබෙන වාසි හා අවාසි දෙකම පෙන්වා දී තිබේ. මේ නිසා මෙතෙක් ඒ පිළිබඳව නිශ්චිත දේශපාලන තීරණයක් ගැනීම සිදුවී නැත.
එහෙත්, ජනාධිපතිවරයාගේ සමීප කවය පෙන්වා දී ඇත්තේ මූල්‍ය අරමුදල අතහැර ගමනක් යාමට තරම් ආර්ථිකය ශක්තිමත් නොවන බවයි. 2028 දී දැනට නොගෙවා සිටින විදේශ ණය යළි ගෙවීමට සිදුවීමත්, ඒ අවස්ථාවේ දී ණය ගෙවීම අපහසු වුවහොත් පුද්ගලික ණය හිමියන් සමඟ යළි සමාලෝචනයකට යාමට ද මූල්‍ය අරමුදලේ සහාය ලැබී තිබීම වැදගත් බවයි. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ද ඉහළ දමා ගැනීමට ද මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ තුළ සිටීම අවශ්‍ය බව ඔවුන්ගේ මතය වී තිබේ.
ඒ අනුව, ජනාධිපති අනුර වඩාත් සමීප වී ඇත්තේ මෙම සමීප කවයේ මතයට ය.
මෙම සමීප කවයේ සිටින දුමින්ද හුලංගමුව යනු, කලෙක සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “ඉත්තකු” ලෙස ක්‍රියා කරන ලද අයෙකි. ඔහුගේ දැඩි මතය වී ඇත්තේ කැමති වුනත්, නැතත්, 2027 මාර්තු මූල්‍ය අරමුදල සමග නව ගිවිසුමකට යාමට සිදුවන බවය. එම ගිවිසුම, මේ වන විට මූල්‍ය අරමුදල විසින් කෙටුම්පත් කර, දුමින්ද හුලංගමුව අතට පත්කර ඇතැයි ද අප වෙත වාර්තා වී ඇත.
- සංජීව කරවිට
