ව්‍යාජ සමාගම් 36ක් ! ගනුදෙනු 199ක් ! ඩොලර් බිලියනයක ජාවාරමක් ! සැකකාර බැංකු නිලධාරීන් සිව්දෙනාගේ රිමාන්ඩ් කාලය සැප්තැම්බර් 3 දක්වා දීර්ඝ කෙරේ !
1 min read
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ සමාගම් 36ක් පිහිටුවා ඇමෙරිකන් ඩොලර් මිලියන 1000ක් (බිලියනයකට අධික මුදලක්) නීති විරෝධී ලෙස විදේශගත කර රජයට සහ බැංකුවලට පාඩු කිරීමේ මහා පරිමාණ මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු හතරක නිලධාරීන් සිව්දෙනා ලබන සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළේය.
මෙලෙස යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සෙලාන් බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ කළමනාකාර ශිරාන් මරියෝ පෙරේරා, සම්පත් බැංකුවේ උමේෂ් රන්දික ප්‍රනාන්දු, යූනියන් බැංකුවේ ධර්ම ලිංගම් ප්‍රනාන්දු සහ නේෂන් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර යන සැකකරුවන්ය. මෙම සැකකරුවන්ට අදාළව නිසි අණපනත් ප්‍රකාරව සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේය.
මෙම බැංකු නිලධාරීන් සිව්දෙනා සිද්ධියේ පළමු සැකකරුගෙන් අල්ලස් ඉල්ලා ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව, එම අල්ලස් ලබා ගැනීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ කොටස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ. සැකකරුවන් සෑම සිකුරාදා දිනකම මෙම ජාවාරම්කරු හමු වී ප්‍රතිලාභ ලබාගෙන ඇති බවත්, පුද්ගලික ගිණුම් විවෘත කර රුපියල් ලක්ෂ තුන බැගින් මුදල් තැන්පත් කරගෙන ඇති බවත් හෙළි වී තිබේ. මේ හේතුවෙන් ඔවුන්ගේ අයතා මුදල් ඉපැයීම් සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය. මෙම සිද්ධියට තවත් සැකකරුවන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් පිළිබඳව ද විමර්ශන පවත්වන බව පොලිසිය පැවසීය.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ජෙෆ්රි මොහොමඩ් නමැත්තා පුද්ගලයන් අට දෙනෙකුගේ නම් භාවිත කරමින් ව්‍යාජ සමාගම් 36ක් පිහිටුවා ඇති බවයි. ඔහු ‘Investment Impact Pvt’ නමැති ආයතනය පවත්වාගෙන යමින් මෙම මුදල් වංචාව සිදුකර තිබේ. ඔහු ව්‍යාජ සමාගම් හරහා අවස්ථා 199කදී ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් (TT) මඟින් ඇමෙරිකන් ඩොලර් බිලියනයකට අධික මුදලක් විදේශගත කර ඇත.
ප්‍රධාන සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඔස්සේ රුපියල් ලක්ෂ 65කට අධික මුදලක් උපයාගෙන බැංකුගත කර ඇති බව හෙළි වී තිබේ. ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව ද විමර්ශන නිලධාරීහු පැවසූහ. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියට අදාළව මෙම ප්‍රධාන සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
