අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. – රජීව් අමරසූරිය
1 min read
අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.
යෝජිත ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතීඥ සංගමයේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාව ගැන මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
තීරණ ගැනීමේදී යම් යම් අවදානම් ගැනීමට සිදුවන බවට ජනාධිපතිවරයා කළ ප්රකාශයට පිළිතුරු දෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, අමාත්ය මණ්ඩල පත්වීම් හෝ පාර්ලිමේන්තු යෝජනා වැනි කරුණුවලදී අවදානම් ගැනීම සාමාන්ය තත්ත්වයක් වුවද, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී එවැනි අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
“අධිකරණයේ ස්වාධීනත්වයට යම් බලපෑමක් හෝ අවදානමක් එල්ල වන්නේ නම්, එය නොකළ යුතු දෙයක්. ජනාධිපතිවරයා පවා මෙහි අවදානමක් ඇති බව පිළිගන්නේ නම්, එයම ප්රමාණවත් හේතුවක් මෙම සංශෝධනය ක්රියාත්මක නොකර සිටීමට,” යැයි අමරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම සංශෝධනයට නීතීඥ සංගමය පමණක් නොව, මහානායක හිමිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය හා ජාත්යන්තර ආයතන රැසක් විරෝධය පළ කර ඇති බවත්, දැනට මෙයට පක්ෂව සිටින්නේ රජය පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
යම් කරුණක් සම්බන්ධයෙන් විද්වතුන් සහ නායකයන් අතර මතභේද පවතී නම්, කළ යුත්තේ ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර රටට වඩාත් යහපත් වන පොදු එකඟතාවයකට පැමිණීම බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
