ජනපති – නීතිඥ හමුවේ ඇත්ත මෙන්න !
1 min read
අද දහවල් 01 සිට පුරා පැය 3 ක පමණ කාලයක්, ජනාධිපති අනුර කුමාර හා නීතිඥ සංගමයේ ප්‍රධානින් අතර පැවැති සාකච්ඡාවේ අභ්‍යන්තර තොරතුරු අප වෙත ලැබී තිබේ.
මෙම සාකච්ඡාවට නීතිඥ සංගමය වෙනුවෙන් නීතිඥයන් 24 දෙනෙකු සහභාගී වී ඇතත්, අදහස් ඵල කර ඇත්තේ පුද්ගලයන් 5 දෙනෙකු පමණි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, මෙරට කීර්තිමත් නීති විශාරදයකු වන මෙරට පළමු මහාචාර්යවරියක වන සාවිත්‍රි ගුණසේකර, නීතිඥ නලින් චන්දික ද සිල්වා, ජෝන් අලගරත්න හා උපුල් ජයසූරිය එම කරුණු දක්වා තිබෙන පස් දෙනා වේ.
මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ඉහලට ලබාදෙන අල්ලසක් බවට පත්ව තිබෙන අන්දම ජනාධිපතිවරයා හමුවේ මනාව පැහැදිලි කර තිබේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙය සද්භාවයෙන් ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනයක් බවයි. එවිට, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයාට අභියෝගාත්මකව පවසා ඇත්තේ, මෙය තනි පුද්ගලයකුට ලබා දෙන සංතෝශමක් නොවන්නේනම්, අදාළ සංශෝධනය මෙම වසරේ දෙසැම්බර් 15 න් පසු ගෙන එන ලෙසයි. එසේ කළහොත් තම සංගමය ද එයට සහාය දක්වනු ලබන බවද මෙහිදී පෙන්වා දී තිබේ.
එයට ද ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමැතිවරයා නැවත නැවතත් පවසා ඇත්තේ තමන් මෙය ගෙන එන්නේ සද්භාවයෙන් බවය.
තමන් විද්වතුන්ගේ අදහස් විමසන ලද බව ජනාධිපතිවරයා පවසන ලද අවස්ථාවේ දී නීතිඥ උපුල් ජයසූරිය විසින් එම විද්වතුන් කවුරුන් දැයි ප්‍රශ්න කර තිබේ. එහිදී ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට කිසිදු විද්වතකුගේ නමක් සඳහන් කිරීමට නොහැකි වී තිබේ.
නීතිපතිවරයා ද මෙය අනුමත කර තිබෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන ලද විට නීතිඥ උපුල් ජයසූරිය පවසා ඇත්තේ “නීතිපතිට වෙන කරන්න දෙයක් නැති” බවයි. සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේනම්, එයට ධනාත්මකව සහාය වීමට තමන් සූදානම් බවද මෙහිදී නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.
තවදුරටත් කරුණු දක්වමින් නීතිඥ උපුල් ජයසූරිය ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ “මහින්දට ගෙදර යන්න වුනේ ශිරානි බණ්ඩාරනායක අයින් කරපු නිසා. ඔබතුමාටත් මේකෙන් වෙන්නෙ ඒකම තමයි” යනුවෙනි. ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඒකට සූදානම් බවයි.
මෙහි හාස්‍යයට කරුණ වී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහායට පැමිණ සිටි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර හා ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර යන දෙදෙනාම පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ට පිළිතුරු දීමේ දී “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කරනු දක්නට ලැබීමයි. සාකච්ඡාව පැවැති මුළු කාලයෙන් වැඩි වෙලාව ලබාගෙන ඇත්තේ නීතිඥ සංගමයේ නියෝජිතයන් වන අතර, ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කීපවරක්ම නැවත නැවතත් පවසා ඇත්තේ “මෙය සද්භාවයෙන් ගෙන එනු ලබන්නක්” බවයි.
සාකච්ඡාව නිමා වී ඇත්තේ “පසුව දන්වන්නම්” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පැවසීමෙන් අනතුරුව ය. සාකච්ඡාව නිමා කොට පැමිණි නීතිඥයන් කතාබහ වී ඇත්තේ, තමන් නගන ලද තර්ක හා කරුණු බිඳ දැමීමටවත් නොහැකි අසරණභාවයක ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පත්ව සිටි අන්දම පිළිබඳව ය.
- දිදුල නාගානන්ද
