මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න – දිනන දකුණ සාමූහිකය..
1 min read
ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බව කියන ලිපිය වහාම මාධ්‍ය වෙත නිකුත් කර ප්‍රසිද්ධියට පත් කරන ලෙස “දිනන දකුණ සාමූහිකය” ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට අභියෝග කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව පෙන්වා දෙන්නේ, පසුගිය 08 වැනිදා “යුක්තිය උදෙසා ජනතා සාමූහිකය” ඇතුළු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයින් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මෙම ලිපිය පිළිබඳව තොරතුරු අනාවරණය වූ බවයි.
එම හමුවේදී අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව මහානායක හිමියන් පැහැදිලිවම ප්‍රකාශ කළ බවත්, එම සාකච්ඡාවේ අදහස් විකෘති කරමින් ආණ්ඩුවට හිතවත් ෆේස්බුක් පිටුවක් මඟින් අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවයි එම සංවිධානය චෝදනා කරන්නේ.
ජනමාධ්‍ය ඉවත් වීමෙන් පසුවද මහානායක හිමියන් සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවත්, සදාචාරාත්මක හේතූන් මත එහි සියලු තොරතුරු මාධ්‍යයට හෙළි නොකරන බවත් පවසන දිනන දකුණ සාමූහිකය, මෙම ලිපිය පිළිබඳ තොරතුරු වසන් කිරීමටත් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමටත් ආණ්ඩුව දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව පවසයි.
ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය ප්‍රසිද්ධ කිරීමට අපොහොසත් වන්නේ නම්, මෙම සිදුවීම පිටුපස ඇති ආණ්ඩුවේ සැඟවුණු න්‍යාය පත්‍රය මනාව පැහැදිලි වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
