“ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි… ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්”.. – මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
1 min read
ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.
Going Underground නාලිකාවේ නවතම වැඩසටහනට එක්වෙමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, ඉරානයට එරෙහිව දීර්ඝකාලීන යුද්ධයක නිරත වීමට තරම් ප්‍රමාණවත් අවි ආයුධ තොග ඇමරිකාව සතුව නොමැති බවට යුද්ධය ආරම්භ වීමට පෙර පවා හමුදා ප්‍රධානීන් අනතුරු අඟවා තිබූ බවයි.
මාධ්‍ය වෙත නිකුත් වී ඇති අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ මෙය ඇමරිකානු ආරක්ෂක බලඇණි මුහුණ දී සිටින බරපතල අර්බුදය බවයි.
“මම ඔබට කියන පළමු කාරණය තමයි, යුද්ධය ආරම්භ වීමට පෙරත්, ඉරානයට එරෙහිව යුද්ධයක් කිරීමට තරම් ප්‍රමාණවත් තරම් අවි ආයුධ තොග අප සතුව නොමැති බවට ජෙනරාල් කේන් විසින් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබුණා. එමෙන්ම දීර්ඝකාලීන යුද්ධයක නිරත වීමට අපට කිසිසේත්ම හැකියාවක් තිබුණේ නැහැ. නමුත් සිදු වී ඇත්තේ අප දීර්ඝකාලීන යුද්ධයක පැටලී සිටීමයි. අපගේ සංකීර්ණ සහ තාක්ෂණික අතින් උසස් ආයුධ තොග ක්ෂය වී ඇති ප්‍රමාණය ඇත්තෙන්ම පුදුමාකාරයි.
තවද මෙම ආයුධ නැවත නිෂ්පාදනය කර පිරවීම ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඔබ ගුවන් ආරක්ෂක මිසයිල දෙස විතරක් බැලුවොත්, එහි වර්ග දෙකක් තියෙනවා. එකක් THAAD මිසයිල, අනෙක පැට්‍රියට් (Patriots) මිසයිල.
අප සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් මිසයිලවලින් 65% ක්ම අප භාවිත කර අවසන්. ඒ වගේම ප්‍රහාරාත්මක කටයුතු සඳහා භාවිත කළ හැකි අපගේ ප්‍රහාරක මිසයිල සහ ස්මාර්ට් මිසයිල දෙස බැලුවොත්… අප සතු ටොමහොක් (Tomahawks) මිසයිලවලින් 50% ක් සහ මාධ්‍ය වාර්තාවලට අනුව ATACMs හා PrSMs මිසයිල පාහේ සම්පූර්ණයෙන්ම වගේ භාවිත කරලා ඉවරයි.
එම නිසා, නැගෙනහිර ආසියාව සහ යුක්‍රේනය වැනි ස්ථානවලට අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වන උසස් තාක්ෂණික ආයුධ තොගයට එක්සත් ජනපදය විසින් දැඩි හානියක් සිදු කරගෙන තිබෙනවා. මම හිතන්නේ, ඉරාන යුද්ධය වහාම අවසන් විය යුතුයි කියන පැහැදිලි පණිවිඩය ලබාදීමට තමයි කවුරුන් හෝ (ඒ කවුදැයි කවුද දන්නේ) මේ තොරතුරු මාධ්‍ය වෙත කාන්දු කර තිබෙන්නේ. තවද, අපගේ ආයුධ තොගයට තවත් හානි කරගන්නේ නැතුව මෙම යුද්ධය තවදුරටත් උග්‍ර කිරීමට අපට සැබවින්ම හැකියාවක් නැහැ.”
