June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

80 වැනි වියට ළංවෙන ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැකසංකා?

1 min read

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ කුතුහලය, උනන්දුව වැඩි වෙමින් ඇති ආකාරයක් මේ දිනවල දැකිය හැකි වේ. විශේෂයෙන්ම ඒ ඔහුගේ වයසත් සමග ය. ලබන ජුනි 14 වැනි දින ට්‍රම්ප් 80 වැනි විය සපුරයි.

ඇමරිකානු ඉතිහාසය තුළ ජනාධිපති ධුරයට පත් වියපත්ම පුද්ගලයා ලෙස ද ට්‍රම්ප් වාර්තාවක් පිහිටුවා තිබේ. 2025 ජනවාරි 20 වැනි දින ඔහු සිය දෙවැනි ධුර කාලය සඳහා දිව්රුම් දෙද්දී ඔහුගේ වයස අවුරුදු 78 කුත් දවස් 220 ක් විය. ට්‍රම්ප්ට කලින් මෙම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් ය. 2021 ජනවාරි 20 වැනි දින බයිඩ්න් ජනාධිපති ධුරයේ දිව්රුම් දෙද්දී ඔහු ගේ වයස වූයේ අවුරුදු 78 කුත් දින 61 කි.

ජනාධිපති ට්‍රම්ප් ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල මාධ්‍ය තුළ ද යම් කතාබහක් ඇති වී තිබෙනු දැකිය හැකි වේ. ඒ, ඔහු වෛද්‍ය පරීක්ෂාවක් සඳහා පසුගිය සතියේ වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ඇති බව වාර්තා වීමත් සමග ය. ඇමරිකාවේ ජනාධිපතිවරුන් විශේෂිත වෛද්‍ය පරීක්ෂාවන් සඳහා යන්නේ මේරිලන්ඩ් හි පිහිටි වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට යි.

ට්‍රම්ප් ඔහුගේ වෛද්‍ය පරීක්ෂාව සඳහා එහි ගොස් තිබුණේ පසුගිය අඟහරුවාදා බව වාර්තා වේ. මෙය මාස 13 ක් තුළ ඔහු පෙනී සිටි තුන්වැනි වෛද්‍ය පරීක්ෂාවයි. එමෙන්ම ඔහුගේ දෙවැනි ධුර කාලය පටන් ගැනීමෙන් පසු මේ වනවිට ඔහු සිව් වතාවක් වෛද්‍ය පරීක්ෂාවන්ට පෙනී සිට තිබේ.

මේ ආකාරයෙන් ට්‍රම්ප් නිතර වෝල්ටර් රීඩ් මධ්‍යස්ථානය වෙත යාම බොහෝ පාර්ශ්ව තුළ යම් කුතුහලයක් ඇති කර තිබෙන ආකාරයක් දැක ගත හැකි වේ. ඔහු කිසියම් බරපතල රෝග තත්වයකින් පෙලෙනවා ද යන සැකය, කුතුහලය ඇතැමුන් තුළ මතුව තිබෙන ආකාරයක් ද පෙනේ.

ජනප්‍රිය පුවත්  ඉන්දීය ට්‍රෝලර් මාෆියාවෙන් ලංකාවේ ඩොලර් මිලියන ගණනක ‘මුහුදු ආහාර අපනයනය’ අනතුරේ!

ටික කලෙක පටන්ම ට්‍රම්ප් ගේ සෞඛ්‍යයට සම්බන්ධ ඇතැම් කාරණා ගැන අවධානයක් යොමු වෙමින් තිබිණි. ඔහුගේ පාදවල වළලුකර ආසන්නයේ ඉදිමීමක් සහ අත්වල පිටිඅල්ල පැත්තේ කිසියම් පැල්ලම් වැනි යමක් දැකිය හැකි විය.

අත්වල පැල්ලම් මුලින්ම මාධ්‍යවේදීන්ගේ අවධානයට හසු වූයේ 2025 පෙබරවාරි මාසයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඇමරිකාවේ නිල සංචාරයක යෙදුණු අවස්ථාවේ යි. ට්‍රම්ප් ඔහුට අතට අත දෙද්දී මේ පැල්ලම් මාධ්‍යවේදීන්ගේ කැමරාවලට හසු විය.

ඔහුගේ පාදවල ඉදිමීම ගැන මුල් වරට මාධ්‍ය තුළ පළ වූයේ පසුගිය වසරේ ජුලි මාසයේ යි. ධවල මන්දිරයේ පැවති කිසියම් අවස්ථාවක් අතර ගන්නා ලද ඡායාරූපවල මේ බව සටහන්ව තිබිණි.

අතේ පැල්ලම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ධවල මන්දිරය සහ ට්‍රම්ප් ප්‍රකාශ කළේ අධික වශයෙන් ඇස්පිරින් භාවිත කිරීම නිසා මේ තත්වය ඇතිව තිබෙන බව යි. රුධිරය තුනී කර කැටි ගැසීම වැළැක්වීම සඳහා සහ හෘදයාබාධ වැළැක්වීම සඳහා ඇස්පිරින් භාවිත කරනු ලැබේ. රුධිරය මේ ආකාරයෙන් තුනී වීම නිසා සම මතුපිට ඇතිවන සුළු තෙරපුමකින් පවා රුධිරය සිහින් රුධිර නාළිකාවලින් පිටතට කාන්දු වීමට පිළිවන. ට්‍රම්ප් ගේ අතක දක්නට ලැබුණේ මේ ආකාරයෙන් කාන්දු වූ රුධිරය නිසා හටගත් පැල්ලම් බව පැවසිණි. ඔහු නිතර අතට අත දීම ද මෙයට තවත් හේතුවක් වී තිබිණි.

පාදවල ඉදිමුමට හේතුව ලෙස පැවසුණේ

chronic venous insufficiency නම් තත්ත්වයකි. මෙය වියපත් පුද්ගලයන් තුළ සුලභව දැකිය හැකි තත්ත්වයක් ලෙස සැලකේ. සරලව කිවහොත් මෙහි දී සිදුවන්නේ හෘදය වස්තුවේ සිට පාද දක්වා ගමන් කරන රුධිරය ආපසු හෘදය වස්තුව දක්වා ඒමේ දී අවහිරයකට මුහුණ දීම යි. මේ නිසා එම රුධිරය පාදවල සිරවීමෙන් ඉදිමුමක් හට ගනී. කෙනෙකු වයසට යාමේ දී මෙම තත්වය හටගන්නේ නහර දුර්වල වීම නිසා ය.

ජනප්‍රිය පුවත්  ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොළිය 15% සිට 7%ට දක්වා පහළට!

ඉහත කී තත්වයන්ට අමතරව පසුගිය මාර්තු මාසයේ ද තවත් කාරණයක් ගැන මාධ්‍ය අවධානයක් යොමු විය. එහි දී මේ ආකාරයෙන් අවධානයට ලක් වූයේ ට්‍රම්ප්ගේ බෙල්ලේ දකුණු පැත්තේ දක්නට ලැබුණු රතු පැහැති පැල්ලමකි. එය දදයක ආකාරයෙන් ද දිස් විය. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ජනාධිපතිවරයා ගේ වෛද්‍යවරයා වන ෂෝන් බාර්බබෙලා සඳහන් කළේ මෙය සමේ ආලේප කරන ක්‍රීම් වර්ගයක් නිසා ඇති වූවක් බව යි. නමුත් මෙම ක්‍රීම් වර්ගය බෙල්ලෙහි ආලේප කරන්නේ කුමක් නිසා ද යන්න ඔහු පැහැදිලි කර නොතිබිණි.

ධවල මන්දිර නිලධාරීන් සහ ජනාධිපතිවරයා ගේ වෛද්‍යවරයා ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළ ඇතැම් කරුණු සඟවනවා ද යන සැකයක් ද මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ ඇති වී තිබෙන ආකාරයක් දැකිය හැකි වේ.

පසුගිය සතියේ ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂාවට මුහුණ දීමෙන් පසු ධවල මන්දිරය ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රමාද වීම ද ඉහත කී සැක සංකා තීව්‍ර කර තිබිණි. ට්‍රම්ප් වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් තිබුණේ අඟහරුවාදා වුවත් නිල නිවේදනය නිකුත් කර තිබුණේ දින තුනකට පසුවයි.

සාමාන්‍ය රුධිර පරීක්ෂණ ආදිය කිරීම සඳහා පහසුකම් ධවල මන්දිරයේ තිබෙන බව සඳහන් වේ. වෝල්ටර් රීඩ් මධ්‍යස්ථානයට යන්නේ එම්.ආර්.අයි. පරීක්ෂණ, හෘද ක්‍රියාකාරිත්වයට අදාළ පරීක්ෂණ, ස්නායු සම්බන්ධ පරීක්ෂණ වැනි විශේෂිත වෛද්‍ය පරීක්ෂණ සඳහා ය.

අඟහරුවාදා ට්‍රම්ප් පැය තුනකට ආසන්න කාලයක් වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ගතකර තිබිණි. එයින් පසු ඔහු සිය Truth Social සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් පළ කර තිබූ අතර වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල ඉතා යහපත් බව සඳහන් කළේය. ඉක්මනින් නිවේදනයක් නිකුත් කරන බව ධවල මන්දිරය එම අවස්ථාවේ ප්‍රකාශ කළත් ඔවුන් එම නිවේදනය නිකුත් කළේ දින තුනකට පසු එනම් සිකුරාදා ය. ධවල මන්දිරයේ නිවේදනවල විනිවිදභාවය ගැන සැක මතු වී ඇත්තේ මෙවැනි පසුබිමක් තුළ ය.

ජනප්‍රිය පුවත්  ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද : ආණ්ඩු විරෝධී දැවැන්ත තරුණ බලවේගයක් එක්වෙයි!

කෙසේ නමුත් ධවල මන්දිර වෛද්‍යවරයාගේ නිල නිවේදනයේ සඳහන් වන්නේ ට්‍රම්ප් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව යි.

ඉහළ මට්ටමේ රැස්වීම් අතරතුර පවා ට්‍රම්ප් කිසියම් විඩාපත් බවක් පළ කිරීම සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමු වෙයි. මෙම රැස්වීම් අතරතුර ඔහු අසාමාන්‍ය තරම් දිගු වේලාවන් ඇස් පියාගෙන සිටීම වැනි කාරණා යම් කුතුහලයක් ජනිත කිරීමට හේතු වී ඇත.

ජනාධිපතිවරයා රාත්‍රියට නින්ද නොයාමේ රෝගයකින් පෙළෙනවාද යන ප්‍රශ්නය ද මාධ්‍ය තුළ නිතර දැකිය හැකි වේ. ඔහු රාත්‍රි එකට දෙකට පවා ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවල පෝස්ටු පළ කිරීම ද මේ ප්‍රශ්නය සාධාරණීකරණය කිරීමට දායක වී තිබේ. අවුරුදු 80 ක කෙනෙකු මේ ආකාරයෙන් නිදි වැරීම බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැක්කකි.

ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම මානසික වශයෙන් ද විශාල බලපෑමක් කරන්නක් බව රහසක් නොවේ. අවධානය යොමු කිරීමේ හැකියාව, මතක ශක්තිය, පැහැදිලි තීරණ ගැනීමේ හැකියාව වැනි කාරණාවලට ද මෙය දැඩිව බලපායි.

ට්‍රම්ප් මහ රෑත් අවදිව වැඩ කිරීම ඔහුගේ ඇතැම් පාක්ෂිකයන් දකින්නේ ඔහු තුළ ඇති ශක්තිය සහ කැපවීම පිලිබිඹු කරන්නක් ලෙසිනි. නමුත් වෛද්‍ය විශේෂඥයන් සහ දේශපාලන විචාරකයන් වැනි උදවිය මේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත නොකරන බව දැකිය හැකි වේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x