අපි එදා කිවුවෙ මන්නාරමේ තෙල් නෑ කියල නෙමෙයි.. මහින්ද කිවුව විදිහ වැරදියි කියලයි..
1 min read
මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් රජයේ වර්තමාන ස්ථාවරය සහ අතීතයේ දැක්වූ අදහස් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළේය.
ඒ, කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී මාධ්‍යවේදිනිය විමසා සිටියේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්නාරමේ තෙල් ඇති බව පැවසූ අවස්ථාවලදී, එය මැතිවරණ ඉලක්ක කරගත් ඡන්ද ගුණ්ඩුවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළ බවත්, දැන් එම ස්ථාවරය වෙනස් වී ඇත්ද යන්නත්ය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, මන්නාරම් ද්‍රෝණියේ තෙල් පවතින බවට වන විද්‍යාත්මක දත්ත 1970 දශකයේ සිටම පවතින බවත්, තමන් කිසිවිටෙකත් එහි තෙල් සම්පතක් නොමැති බව ප්‍රකාශ කර නොමැති බවත්ය.
“අපි එදා තෙල් නැහැ කියලා කිව්වේ නැහැ. එදා අපි විවේචනය කළේ තෙල් තියෙනවා කියලා මැතිවරණ කාලසීමාවලදී ජනතාවට ලබාදුන් දේශපාලන පොරොන්දු ගැනයි. එදා කිව්වේ තෙල් බැරල් ගණන් බෙදනවා කියලා. නමුත් අපි කළේ ඒ දේශපාලන ප්‍රකාශ විවේචනය කිරීම මිස විද්‍යාත්මක දත්ත ප්‍රතික්ෂේප කිරීම නොවෙයි,” යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
