විපක්ෂයේ අවුල
1 min read
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විපක්ෂයේ සටනේ විශාල සන්නිවේදන ගැටළුවක් පේනවා.
ඒ ගැටළුව තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය සාමාන්‍ය, හුදී ජනතාවට බලපාන ආකාරය පැහැදිලිව තේරුම් කිරීමට විපක්ෂය තවමත් අසමත් වී තිබීම.
යම් හෙයකින් මේ ව්‍යවස්ථා සංශෝධනය උදෙසා ජනමත විචාරණයක් කැඳවුවහොත්, එහි ප්‍රතිඵලය තීරණය වෙන්නේ හුදී ජනතාව මේ සංශෝධනයෙන් තමන්ට ප්‍රශ්නයක් තියෙන බව දැක්කොත් විතරයි.
අනෙක් පැත්තෙන් මේ සංශෝධනය ජනතාව ඉදිරියේ සාධාරණීකරනය කරන්න ආණ්ඩුව පැත්තෙන් ඉතාම ආකර්ෂණීය සටන් පාඨයක් ගෙනල්ලා තියෙනවා.
ඔවුන් නොකියා කියන්නේ ” අපි මේ සංශෝධනය ගේන්නේ කළින් හොරුන්ට පාඩමක් උගන්නන්න, ඔවුන් හිරේ දාන්න. ඒකට අපිට උදව් කරන්න” කියලා.
මේ කතාව ආකර්ෂණීයයි වගේම හුදී ජනතාව ඒ කතන්දරය සාදරයෙන් වැළඳගනවා.
තවමත් ශ්‍රී ලංකාවේ ගත වෙමින් පවතින්නේ පැරණි පාලනයන්ට සම්බන්ධ වූ උදවිය හිරේ දැමීම මහජනතාවට සතුටක් වන කාලයක්.
ඉන් එහා ගොස් කවුරුන් හෝ හිරේ දැමීමෙන් තමන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත්, තමන් රැවටෙමින් සිටිනා බවත් හුදී ජනයා අවබෝධ කර ගැනීමට තවත් වසර කිහිපයක් අවශ්‍යයි.
ආණ්ඩුව මේ උත්සාහ කරමින් සිටින්නේ මේ කාලසීමාවේදීම හොරු ඇල්ලීමේ නාමයෙන් සියළුම බලයන් තමන් වටා කේන්ද්‍ර ගත කර ගැනීම බව ජනතාවට වැටහෙන්නේ නැහැ.
මෙවැනි පසුබිමක මේ ව්‍යවස්ථා සංශෝධනය තවමත් පොදු මහ ජනතාවගේ ගැටළුවක්, ප්‍රශ්නයක් බවට පත් කිරීමට විපක්ෂය සහ ඒ ආශ්‍රිත සිවිල් කණ්ඩායම් අසමත් වෙලා තිබෙනවා.
අනෙක් අතට අධිකරණය සම්බන්ධයෙන් සංවාද ගොඩනැගීමට බොහෝ දෙනෙක් බයයි.
එම බයත් මේ සංවාදය මෙලෙස අසම්පූර්ණ වීමට එක් හේතුවක් බව පෙනෙනවා.
කොහොම වුනත් 22 ව්‍යවස්ථා සංශෝධනය යනු ආණ්ඩුවේ බල ව්‍යාපෘතියේ ආරම්භක, කසකරුවෙක් පමණයි.
යම්කිසි ආණ්ඩුවක් මෙවැනි බලයක් අත් කර ගැනීමට උත්සාහ කරන්නේම ඉන්පසුව ගෙන එන මහා විශාල බල ව්‍යාපෘතියක් ඔවුන් දැනටම සැලසුම් කර අවසන් නිසා.
ලෝකය පුරාම වාමවාදී ආණ්ඩු හැසිරුණේ එහෙමයි.
මෙය කිසිසේත්ම හොරු ඇල්ලීම සම්බන්ධ කාරණයක් නොවෙයි.
හොරුන් ඇල්ලීමට සහ දඬුවම් කිරීමට මේ ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය නැහැ.
මේ ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය ආණ්ඩුවට වෙනත් කාරණා සඳහා අධිකරණය තමන් යටතට ගැනීමට පමණයි.
ආණ්ඩුවේ ඒකාධිපති බල ව්‍යාපෘතියට හොඳම උදාහරණයක් මේ දිනවල දේශපාලනය හොඳින් නීරික්ෂණය කළහොත් ඔබට දැකගත හැකියි.
මේ දිනවල ප්‍රවෘත්ති නරඹද්දි ඔබට එක්තරා අඩුවක් දැනිය යුතුයි.
සාමාන්‍යයෙන් ඉතිහාසයේ මෙවන් දේශපාලන තත්ත්ව යටතේ සහ එසේ නොවන අවස්ථා වල පවා නිරතුරුවම අපට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අරගල, උද්ඝෝෂණ, විරෝධතා දැකගත හැකියි.
ඕනෑම මාතෘකාවක් ජනගත කිරීමට ඔවුන්ගේ මේ විරෝධතා, උද්ඝෝෂණ හේතුවක් වුණා.
මෙතෙක් කාලයක් අන්තරය පාලනය කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය.
නමුත් ජවිපෙ බලයට පත් වූ විගසම පෙරටුගාමී අන්තරය නිෂ්ක්‍රීය කර, ඔවුන්ගේම අන්තරයක් පිහිටුවා ගත්තා.
දැන් 22 ව්‍යවස්ථා සංශෝධනයට තබා නේවාසික පහසුකම් ඉල්ලා හෝ විශ්‍ව විද්‍යාල සිසුන්ගේ විරොධතාවයක්, සත්‍යග්‍රහයක්, උද්ඝෝෂනයක් අපිට පෙනෙන්නට නැහැ.
මේ තමයි ජවිපෙ ක්‍රමය.
ඔවුන් වෙනත් කිසිඳු සිවිල් බලයකට සමාජයේ රඳා පවතින්නට ඉඩ හරින්නේ නැහැ.
ඔවුන් එම සියළුම බලයන් නිෂ්ක්‍රීය කරනවා.
ඔවුන්ට අභියෝගයක් විය හැකි කිසිඳු බලයකට රැදෙන්නට ඔවුන්ට ඉඩ හරින්නේ නැහැ.
ශ්‍රී ලංකාව දේශපාලනිකව , අයිඩියොලොජිකලි කුමන ආකාරයේ රටක් විය යුතුදැයි මෙතෙක් මෙරට බිහි වූ කිසිඳු ආණ්ඩුවකට ඉලක්කයක් තිබුණේ නැහැ.
ඔවුන් දේශපාලනය කළා. ඡන්ද දින්නා. පැරදුණා. ඔවුන්ට ආර්ථික ඉලක්ක තිබුණා. හැබැයි මතවාදී ඉලක්ක තිබුණේ නැහැ.
ඔවුන් හුදෙක් මැතිවරණ උදෙසා දේශපාලනය කළා පමණයි. ඒ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදීයි.
නමුත් ජවිපෙට අයිඩියොලොජිකල් දැක්මක් තිබෙනවා.
ඔවුන්ට පැහැදිලිවම අවශ්‍ය ඒකාධිපති, තනි පුද්ගල, ඔවුන්ට විරුද්ධව වචනයක් හෝ නොකියවෙන සහ නොලියවෙන රටක්.
අපි හුස්ම ගැනීම හැර සියල්ල ඔවුන් කැමති ආකාරයට සිදුවීම ඔවුන් බලාපොරොත්තු වෙනවා.
ඔවුන් දැක ඇත්තේ එවැනි රටවල්. ඔවුන්ගේ සිහින ලෝක වල ඇත්තේ එවැනි රටවල්.
ටිල්වින් නිරතුරුවම චීනය සහ කියුබාව උදාහරණයට ගනිමින් මේ බව කියනවා.
උගත් යැයි කියන මාලිමාවේ ප්‍රසන්න ගුණසේනගේ සිට ජවිපෙ කාඩරයේ එරංග ගුණසේකර දක්වා බුවාලා මේ කතාවම කියනවා.
ඒ කතන්දර යනු ඔවුන් විශ්වාස කරනා සහ ඔවුන්ගේ ඉලක්කගත රාජ්‍යය මිසෙක ඒ හුදෙක් වාචාල කතා නෙවෙයි.
පීඩිත පන්තියෙන් පැමිණි ඔවුන්ගේ සමාජය කෙරෙහි ඇති වෛරය නියමාකාරයෙන්ම පිට කෙරෙන්නේ එවැනි රටකදීයි.
22 ව්‍යවස්ථා සංශෝධනය යනු ඒ මහා ව්‍යාපෘතියේ අතිශය වැදගත් එක් පියවරක්.
යම් හෙයකින් 22 සම්මත වූ පසුව මහා මර්ධනයක් සහ තවත් විශාල වෙනස්කම් රාශියක් සමාජය මත පැටවෙනවා.
එම නිසා විපක්ෂයේ සන්නිවේදනය දැන් ගොනු විය යුත්තේ හුදී ජනතාවට වැටහෙන භාෂාවෙන් මේ අර්බුධය වටහා දීමටයි.
ජවිපෙ බල ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් අනාගතයේ දී ගම්මාන පාලනය කරන්නේ පක්ෂයේ කාඩර්වරු බවත්, අතීත සෝවියට් රුසියාවේ මෙන් පක්ෂයේ කොමිසාර්වරු ග්‍රාමීය බලය හොබවන බවත්, පක්ෂ සාමාජිකයන් හැර අන් සියළුම දෙනා පක්ෂයේ වචනයට අවනතව නැටවෙන රෝබොවරුන් විය යුතු බවත් හුදී ජනයාට අවබෝධ කර දීම විපක්ෂය ඉදිරියේ ඇති විශාලතම අභියෝගයයි.
- Sachin Rathwatte
