September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොත්මලේ අක්කර පනහ පාලම කඩා වැටීමේ අවදානමක

1 min read

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර පනහ කොටස ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාලම මේ වන විට දැඩි ලෙස අබලන්ව කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම පාලම හරහා ගමන් කරන පනස් අක්කර ප්‍රදේශයේ පවුල් 120කට වැඩි සංඛ්‍යාවකට අයත් පුද්ගලයන් 800කට අධික පිරිසක් දෛනිකව තම අවශ්‍යතා සපුරා ගැනීමට ගමන් කරන බවත්, පාලමේ වත්මන් තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ජනතාව පෙන්වා දෙති.

පසුගිය දිට්වා සුළි කුණාටුවේදී පාලමට අර්ධ වශයෙන් හානි සිදුවී තිබූ අතර, එම තත්ත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ස්ථිර විසඳුමක් ලබාදී නොමැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ අතර පසුගිය දින තුන පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ පාලමේ තත්ත්වය තවදුරටත් දරුණු වී ඇති අතර, එහි කොටස් කඩා වැටී ගමනාගමනයට බරපතළ බාධා එල්ල වී තිබේ.

අධික වර්ෂාවක් ඇති කාලසීමාවලදී පාලම උඩින්ද වතුර යෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් කිසිසේත්ම පාලම මතින් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බවද ප්‍රදේශවාසීන් පවසති.

ජනප්‍රිය පුවත්  හෙරණ නගර සභා අයවැයත් ආණ‍්ඩුව පරාදයි!

විශේෂයෙන් ගැබිනි මව්වරුන්, පාසල් දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන් සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දී සිටින බවද ඔවුහු හදිසි රෝගී තත්ත්වයක් ඇති වූ අවස්ථාවක රෝගියකු රෝහල වෙත කඩිනමින් රැගෙන යාමට නොහැකි වීම මෙන්ම, මරණයක් සිදුවුවහොත් මෘත දේහයක් ප්‍රවාහනය කිරීමට පවා දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදුවීම බරපතළ මානුෂීය ගැටලුවක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

එමෙන්ම දෛනික රැකියා සඳහා පිටත්ව යන ජනතාවට සහ පාසල් දරුවන්ටද මෙම තත්ත්වය හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදුව තිබේ.

අනතුරක් සිදුවී ජීවිත හානි වීමට පෙර අදාළ බලධාරීන් මෙම ස්ථානයට කඩිනමින් පැමිණ පාලමේ තත්ත්වය තාක්ෂණිකව පරීක්ෂා කර, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්ෂණික පියවර ගත යුතු බව ප්‍රදේශවාසීහු අවධාරණය කරති.

පාලම සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කාලයක් ගතවන්නේ නම්, එතෙක් ජනතාවගේ ගමනාගමනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂිත තාවකාලික මාර්ගයක් හෝ වෙනත් විකල්ප ප්‍රවාහන පහසුකමක් සැලසීම බලධාරීන්ගේ වගකීමක් බවද ඔවුහු පෙන්වා දෙති.

අදාළ බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුවත් කර තිබියදීත් මේ දක්වා ස්ථිර විසඳුමක් නොලැබීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තුළ පවතින්නේ දැඩි කනස්සල්ලකි. එබැවින් තවත් වැසි සමයක් හෝ අනතුරක් සිදුවන තෙක් බලා නොසිට, පනස් අක්කර ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත හා දෛනික ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඔවුහු වගකිවයුතු සියලු ආයතනවලින් ඉල්ලා සිටිති.

ජනප්‍රිය පුවත්  වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මියයයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x