“හැබැයි මෙහෙමයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා…”
1 min read
මේ තමයි අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ දේශපාලන උප සංස්කෘතියට අලුතෙන්ම එකතු කළ වාක්‍ය..
පාරවල් හදන්න සල්ලි තියෙනවා හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ටීඕ ලා නෑ..
පාරවල් හදන්න ඕන සල්ලි තියෙනවා හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා යුද්ධෙ නිසා තාර ගේන්න බෑ..
අපි ජනතාවට පොලී නැතුව ණය දෙනවා හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා 3% ක පොළියක් ගන්නවා..
රටේ ජනතාව විදියට අපිටත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා..
අනුර කුමාර දිසානායක මේ රැස්වීම් වලට සහභාගී වන්නෙ රටේ ජනාධිපතිවරයා විදියටද…?
නැතිනම් පක්ෂයෙ නායකයා විදිහටද..?
ඔහුම ප්‍රකාශ කරන විදිහට ” මම මේ රැස්වීම් වලට එන්නෙ පක්ෂ නායකයා විදිහට පක්ෂය ප්‍රවර්ධනය කරන්න”
හැබැයි එතනට යන්න පාවිච්චි කරන්නේ කාගේ වාහනද..?
කාගේ ඉන්ධනද..? කාගේ ආරක්ෂක රථ පෙළද (VVIP Security)…? වියදම් කරන්නේ කාගේ සල්ලිද…?
උත්තරය හරි සරලයි..
මේ මහජන බදු මුදල්…
රටේ රාජ්‍ය නායකයාට ආරක්ෂාව දිය යුතුයි. ඒක සම්මත නීතියක්.
හැබැයි ඒ ආරක්ෂාව සහ වරප්‍රසාද පක්ෂයක දේශපාලනය ප්‍රවර්ධනය කරන්න රාජ්‍ය සම්පත් අවභාවිතය සිද්ධ වෙන්නේ නැද්ද?
නීතිය පැත්තකින් තියන්න අපි අහන්නෙ මෙන්න මේකයි..
76 වසරක ශාපය අවසන් කරනවා කියලා, නව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් බිහි කරනවා කියලා, මහජන මුදල්වල රුපියලක්වත් නාස්ති කරන්නේ නෑ කියලා බලයට පැමිණ මේ කරන්නෙ ඒ සදාචාරාත්මක වෙනසද..?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පෞද්ගලික සංචාරයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත නීතිමය පියවර (නඩු) ගනිමින් පවතින පසුබිමක…,
වත්මන් ජනාධිපතිවරයා පක්ෂ ප්‍රවර්ධන රැස්වීම් සඳහා ජනාධිපති ධුරයේ වරප්‍රසාද (ආරක්ෂාව, ප්‍රවාහනය ඇතුළු රාජ්‍ය සම්පත්) භාවිත කිරීම අනාගතයේදී නඩු නිමිත්තක් (Cause of Action) වීමේ පැහැදිලි නීතිමය ඉඩකඩක් පවතිනවා.
මෙම තත්ත්වය නීතිමය, ව්‍යවස්ථාපිත සහ සදාචාරාත්මක පැති කිහිපයකින් විග්‍රහ කළ හැකිය..
- රාජ්‍ය දේපළ සහ මුදල් අවභාවිතය (Misuse of Public Property)..
ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට අනුව, රාජ්‍ය මුදල් හෝ දේපළ (වාහන, ඉන්ධන, නිලධාරීන්) කිසිදු දේශපාලන පක්ෂයක ප්‍රවර්ධන කටයුතු හෝ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව භාවිත කිරීම තහනම්ය.
වත්මන් ජනාධිපතිවරයා තමන් රැස්වීමට පැමිණියේ “පක්ෂ නායකයා” ලෙස යැයි ප්‍රකාශ කළද, ඔහු ඒ සඳහා ගමන් කරන්නේ ජනාධිපතිවරයාට හිමි රාජ්‍ය වාහන, ඉන්ධන සහ ආරක්ෂක පරිවාර (VVIP Security) මඟින් නම්, එය තාක්ෂණික වශයෙන් රාජ්‍ය සම්පත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් යෙදවීමකි.
ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු හෝ ධුරය දරන කාලය තුළ වුවද (ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා) පොදු දේපළ පනත යටතේ මෙවැනි සිදුවීම් අනාගතයේදී අභියෝගයට ලක් කිරීමට ඕනෑම පුරවැසියෙකුට හෝ සිවිල් සංවිධානයකට නීතිමය අයිතියක් ඇත.
- මැතිවරණ වියදම් නියාමන පනතේ බලපෑම (Campaign Finance Law)….
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත (Regulation of Election Expenditure Act) අනුව, දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා දරන වියදම් සහ ඒවායේ ප්‍රභවයන් නිශ්චිතව පෙන්විය යුතුය.
ජනාධිපතිවරයා පක්ෂ රැස්වීම් සඳහා පැමිණීමේදී වැයවන රාජ්‍ය ප්‍රතිපාදන පක්ෂයේ ගිණුම්වලින් පියවන්නේ නැත්නම්, එය එම පනත උල්ලංඝනය කිරීමක් ලෙසද අර්ථකථනය විය හැකිය.
- ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ නීතිමය ගැටලුව…
මෙහි ඇති එකම සංකීර්ණ නීතිමය තර්කය වන්නේ “ජනාධිපතිවරයාගේ ආරක්ෂාව” පිළිබඳ ප්‍රශ්නයයි. ලංකාවේ නීතියට අනුව රටේ රාජ්‍ය නායකයා (Head of State) කොතැනකට ගියද (එය පෞද්ගලික හෝ දේශපාලනික වුවද), ඔහුට උපරිම රාජ්‍ය ආරක්ෂාව සැපයීම රාජ්‍යයේ වගකීමකි.
නමුත් ගැටලුව වන්නේ.., ආරක්ෂාව සැපයීම අනිවාර්ය වුවද, එම ආරක්ෂක රථ පෙළ සහ පරිවාර සේනා දේශපාලන වේදිකා අසලට රැගෙන යමින්, දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය සඳහා පරිසරය සකසා ගැනීම හරහා රාජ්‍ය ප්‍රතිපාදන අවභාවිත වන බවට නීතිමය තර්ක ගොඩනැඟිය හැකි වීමයි.
එබැවින්, “දේශපාලන රැස්වීම්වලට යන්නේ පක්ෂ නායකයා ලෙස” යැයි මුවාවෙන් රාජ්‍ය දේපළ හා මුදල් වක්‍රව හෝ භාවිත කරන්නේ නම්, එය පැහැදිලිවම අනාගත නඩු නිමිත්තක් (Future Cause of Action) විය හැකිය.
නීතිය ඉදිරියේ එවැනි වාචික ප්‍රකාශ මඟින් රාජ්‍ය දේපළ පරිහරණය සාධාරණීකරණය කළ නොහැක…
අනිත් එක ඔහු මේ සහභාගී වන රැස්වීම් වල සාරාංශය ගතහොත් තවමත් සියල්ලම පොරොන්දු පමණී..
මේ දේශපාලන රැස්වීම් මාලාව අවසන් වන්නෙ අනුර කුමාර දිසානායක දේශපාලනික වශයෙන් සහ පෞද්ගලිකව නීතිමය රාමුව තුළ තමන්ම තම ගෙලට තොණ්ඩුව දමා ගැනීමෙන්ය..
මාළුවා නහින්නෙ කට නිසාය.. අනුරද දේශපාලන පිටියෙ දාර මාළුවෙකි…
නිලන්ත සත්සර ගමගේ ✍️
