රනිල් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සුළු සිද්ධියක් කොට තැකීම කණගාටුවට කරුණක්- එජාප සභාපති වජිර
1 min read
කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (01) පෙරවරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා දැක්වූ අදහස්
රනිල් වික්‍රමසිංහ නායකතුමා අධිකරණයේ තිබුණු නඩු කටයුත්තට පෙනී සිට නැවත පිටතට පැමිණෙමින් සිටියදී ඇති වූ තත්ත්වය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශයක් කිරීමට අප බලාපොරොත්තු වූයේ නැහැ. අප බලාපොරොත්තු වූයේ නීතිය අනුව ඊට අදාල විමර්ශන කටයුතු සිදු විය යුතු බවයි.
නමුත් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යතුමා කළ ප්‍රකාශය හේතුවෙන් අද අපට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කරුණු ප්‍රකාශ කරන්න සිදුව තිබෙනවා. එතුමා ප්‍රකාශයක් කර තිබෙනවා මෙය සුළු සිදුවීමක් හෙවත් අහඹු සිදුවීමක් කියා. එසේනම් එතැනදී අපට ප්‍රශ්නයක් පැන නගිනවා මේ පරීක්ෂණය කෙලෙස ක්‍රියාත්මක වේවීද කියන කාරණය පිළිබඳව.
මේ සිදුවූ සිද්ධිය අපට කිසිසේත් අනුමත කරන්න බැහැ. සමස්ත මාධ්‍යවේදීන් කිසි කෙනෙකුටත් මෙය අනුමත කරන්න බැහැ. මං හිතනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මාධ්‍යවේදියෙක් මෙවැනි පහරදීමක් සිදුකළේ කියලා.
ඒ වගේම මේ සිදුවීමට අදාළ විමර්ශන නිදහසේ, ස්වාධීනව කරගෙන යාමට ඉඩප්‍රස්ථාව සලසා දිය යුතුව තිබෙනවා. ඒ සඳහා අප කවුරුත් මැදිහත්වීමට අපේක්ෂා කරන්නේ නැහැ.
නමුත් ඒ සඳහා වෙනත් අර්ථකථන ලබාදීමක් සිදුකරනවානම් එය භයානක තත්ත්වයක් ලෙස අප දකිනවා. ඉතිහාසයේ අප දැක තිබෙනවා රජීව් ගාන්ධි මැතිතුමා සාම ගිවිසුම අත්සන් කරන්න ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ආචාර පෙලපාලියේ සිටි ආරක්ෂක නිලධාරියෙකු අත තිබු අවියකින් පහරදීමක් සිදුවුනා.
අවිය කියන එක විවිධ ආකාරයට භාවිතාවෙන්න පුලුවන්. ආත්ම ආරක්ෂාවට භාවිතා කරන විදි වෙන්න පුලුවන්. කිසිදු හේතුවක් නැතුව කෙනෙකුගේ ජීවිතය විනාශ කිරීම සඳහා භාවිතා කිරීම සිදුවෙන්න පුලුවන්. අවිය කුමක්ද කියන එක නොවෙයි වැදගත් වෙන්නේ, මේ සිදුවීම ස්වාධීන පරීක්ෂණයක් තුළින් අවසන්වීම දැකීම තමයි අප එක්සත් ජාතික පක්ෂය හැටියට බලාපොරොත්තු වෙන්නේ.
ඇත්ත වශයෙන්ම ඒ සිදුවුනු ක්‍රියාවලිය සමස්ත ශ්‍රී ලාංකික මාධ්‍යවේදීනුත්, ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සියලුදෙනාම ප්‍රතික්ෂේප කල යුතුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිදහස් පරීක්ෂණයක් සිදුකර එය කුමක් අරඹයා සිදු කළේද යන්න සමාජයට හෙළි කිරීම වැදගත් යයි එක්සත් ජාතික පක්ෂය හැටියට අප ප්‍රකාශ කර සිටිනවා.
මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා
අද අප මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වන්නේ, ඊයේ දිනයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධිකරණ කටයුත්තට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඇති වූ ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි.
අපි දන්න ඉතිහාසය පුරාම චෝදනා තිබුණේ ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ට පහර දුන්නයි කියායි. නමුත් ප්‍රථම වතාවට තමයි අපි දැක්කේ මාධ්‍යවේදීන් ආරක්ෂක අංශයට ප්‍රහාරයක් එල්ල කරනවා. එදා ආරක්ෂක අංශ මාධ්‍යයට පහර දුන්නම මාධ්‍ය විසින් එය හැදින්වූයේ ආරක්ෂක අංශය විසින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කළා කියලායි. එසේනම් මේ සිදුවූ ක්‍රියාවත් එසේම විය යුතුයි.
රටේ මුළු මහත් මාධ්‍ය ප්‍රජාවම ඇත්තටම මේ සිදුවීම සම්බන්ධයෙන් කණගාටු විය යුතුයි. මුළු මාධ්‍ය ප්‍රජාවටම මෙමගින් කළු පැල්ලමක් ඇති කළා. මෙය සාමාන්‍ය සිදුවීමක් කියලා අහක දාන්න බැහැ. මොකද මේ පහරදීම සිදුවන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට. ඒකත් එතුමා විසින් තම රාජකාරිය සිදුකරමින් සිටියදී. මෙය ඉතාම බරපතල තත්ත්වයක්. අපි දන්නේ නැහැ මේ දියත් කළේ වෙනත් කාරණයක පෙරහුරුවක්ද කියා. එහෙම නැත්නම් හිටපු ජනාධිපතිතුමාට එල්ල කළ පහර ආරක්ෂක නිලධාරීන්ට වැදුනද දන්නේ නෑ. මෙය මේ රටේ ආරක්ෂක අංශ විසින් සොයාගත යුතු කාරණාවක්.
මෙවැනි භයානක සිදුවීමක් සිදුව තිබෙන අවස්ථාව රටේ ආරක්ෂාව බාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශයක් කර කියනවා මෙය සුළු සිදුවීමක් කියලා. මෙය සුළු සිදුවීමක් නම් මොකද්ද ලොකු සිද්ධිය මොකක්ද? ලොකු සිද්ධිය කියන්නේ අර 1971 කැරැල්ලෙදී සිදුවූ සිදුවීම් වගේ දේවල්වලටද?
එහෙම නැතිනම් 1988, 1989 වගේ බෙල්ල කපලා වැටක ගහපු එකටද? අපිටනම් හිතෙන්න මේක තමයි ආරම්භය කියලා. ආරම්භයට හරියට ප්‍රතික්‍රියා නොකළොත්, ඔය සුළු සිද්ධිය තමයි මහා සිද්ධියක් බවට අනාගතයේදී පත්වෙන්නේ.
ඒ වගේම මාධ්‍යවේදියෙකු විසින් බිය නැතුව ආරක්ෂක නිලධාරියෙකුට, නිකන් ආරක්ෂක නිලධාරියෙකුට නෙමෙයි ජනාධිපති ආරක්ෂක නිලධාරියෙකුට පහර දෙන්න තරම් අධිකරණ භූමියේ මොන තරම් දුර්වල ආරක්ෂක තත්ත්වයක්ද තිබුණේ. මේ උසාවියේ පළවෙනි නඩුව තිබුණේ හිටපු ජනාධිපතිතුමාට. දෙවෙනි නඩුවේ තිබෙන්නේ මේ රටේ ප්‍රධානම පක්ෂයක දේශපාලන නායකයෙකු වුණු නාමල් රාජපක්ෂ මැතිතුමාට.
මෙවැනි නඩු දෙකක් අධිකරණය තුළ විභාග වෙනකොට එතැන මොන තරම් විශාල ආරක්ෂක තත්ත්වයක් ක්‍රියාත්මක විය යුතුද? දෙපැත්තෙන්ම ආපු විශාල පිරිසක් එතැන හිටියා. එවැනි අය හැසිරීම සඳහා මොන තරම් ආරක්ෂක පිරිසක් ඉන්න ඕනද? මෙවැනි අඩුපාඩුකම් නිසා තමයි මෙවැනි සිද්ධියක් කිරීමට ඒ මාධ්‍යවේදියාට හිත හදාගන්නට පුළුවන් වුණේ. මම හිතන්නේ නම් මේක ළෑස්ති වෙලාම ආපු වැඩක්.
අනිත් කාරණාව තමයි මේ මොහොත වනවිටත් මේ සිදුවීමට අදාළ පුද්ලගලයව අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ විතරක් නෙමෙයි ඔහු මෙම පහරදීම සිදුකළ භාණ්ඩය, පවා අත්අඩංගුවට ගෙන නැහැ නඩු භාණ්ඩයක් වශයෙන්. දැන් ඔහුට පුළුවන් වෙන මොකක් හරි ඉදිරිපත් කරන්න. මෙය මොන තරම් දුර්වල තත්ත්වයක්ද?
අපි දැකලා තියනවා මේ මාධ්‍ය ආයතනවලින් දේශපාලඥයින්ට සදාචාරය උගන්වනවා. මේකද උගව්නව සදාචරාය. මොහුට විරුද්ධව තමන්ගේ ආයතනය තුළින් ගත්තාවූ නීත්‍යානුකූල, විනයානුකූල ක්‍රියාමාර්ගය මොකක්ද?
මේවා මොන කතාද? අනුන්ගේ වැරදි කිය කියා, අනුන්ගේ සදාචාරය ගැන කතා කරනවා, තමන්ගේ සදාචාරය ගැන බලාගන්නේ නැතුව.
වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා බලය ලබාගන්න පෙර කිව්වේ ආරක්ෂාව මොකටද දේශපාලනඥයින්ට කියලා? දැන් බලන්නකෝ මේ ජනාධිපතිවරයා ආරක්ෂාව පිරිවරාගෙන යන ලස්සන. ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් යන්නේ මේ වලපයයි, ගොඩපයයි තියන ජනාධිපතිලාට මොකක් හරි උනොත් කියලද ඇහුවා. එතකොට දැන් ගිලන් රථයක් මොකටද? ජනාධිපති වුණාට පස්සේ මෙයත් වයසට ගිහිල්ලද?
ඒ විතරක් නෙමෙයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිරගත කිරීමේ සිදුවීම දිහා අපි බැලුවොත් එතුමාට අවුරුදු එක හමාරක සිර දඬුවම් ලබාදෙන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැන වැදුණයි කියන වරද මත. එහෙනම් මේ සිදුවීම ඉන් එහාට ගිය සිදුවීමක්. මේ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් නෙමෙයි. හිටපු ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක්. එහෙම නිලධාරියෙකුගේ ඔළුවට ගැහුවහම අවුරුදු කීයක් හිර බත් කන්න ඕනේද?
ඒ නිසා අපි කියනවා වහාම මේ පිළිබඳව ස්වාධින පරීක්ෂණයක් පවත්වලා, මෙවැනි දෙයක් සිදුකිරීමේ සත්‍ය අරමුණ කුමක්ද කියලා රටට හෙළි කරන්න කියලා. මේ ප්‍රහාරයේ ඇත්තම අරමුණ වුණේ ආරක්ෂක නිලධාරියාට පහර දීමද නැතිනම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පහරදීමටද කියලා අපිට බරපතල සැකයක් පහළ වී තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා
විශේෂයෙන්ම අපේ පොලිස්පතිතුමාගෙන් මා දෙයක් අහන්න කැමතියි. Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියාට පහරදීම ඔබ දකින්නේ යුක්තියේ ඇසින්ද? එහෙමත් නැතිනම් පැලවත්තේ වෙවරය වපුරන ඇසින්ද කියලා මම අහනවා. මොකද? අද උදෑසන 9.30ට පොලිසියට එන්න කියපු කෙනා පොලිසියිට ඇවිත් තිබෙන්න උදෑසන 11.30ට. නීතියට පිටින් යමින් මෙවැනි දේවල් කරන්නේ පැලවත්තේ හයිය අරන්ද? මොකද අපි දැක්කා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය වෙලාවෙදී ආණ්ඩුව නටපු නාඩගම්.
ඒ වගේම ආරක්ෂාව බාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියනවා මෙය සාමාන්‍ය සිදුවීමක් කියලා. මේකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අවුරුදු 76 ක සාපයක් ගැන කියලා ජනතාවගේ හිත්වල වෛරය වපුරපුවගේ ප්‍රතිඵල තමයි අද අපිට මේ දකින්න වෙලා තියෙන්නේ.
අපි අහන්නේ මෙහෙම වෛරය වැපිරීම සාධාරණද? මේ ආණ්ඩුව කිව්වේ හිටපු නායකවරුන්ට හොරු කියලා. නමුත් අද අපිට, රටේ ජනතාවට ඇත්තටම දකින්න පුලුවන් වෙලා තියනවා, ඇත්තටම හොරු කවුද කියලා. දවස ගානේ අපිට මේ ආණ්ඩුව විසින් කරන දූෂණ ක්‍රියාමාර්ග හෙළි වෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව බලය ගන්නත්, ක්‍රෝධය, වෛරය වැපුරුවා. දැන් ඒ ගත්ත බලය රැකගන්නත් ක්‍රෝධය, වෛරය වපුරනවා. රටට වැඩක් කරපු නායකයින්ව අගය නොකර, ඔවුන් කෙරෙහි මේ ආකාරයට වෛරය වැපරවීම තුළින් මේ රටට ගෙනියන්න හදන්නේ කොතැනටද?
ඒ නිසා අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පැලවත්තේ නියෝගවලට යට නොවී ස්වාධීන පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් පවත්වන්න කියලා. මොකද විශේෂයෙන්ම ගත්තොත් මේ ආරක්ෂක නිලධාරියාව අයිත් වන්නේත් ඔබේ යටතට? එසේනම් මේ සම්බන්ධයෙන් පැහැදිලි විමර්ශනයක් ඉටුකර මේ නිලධාරියට යුක්තිය, සාධාරණත්වය ඉටුකරන්න කියා අප ඉල්ලා සිටිනවා.
මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිලධාරියෙකුට මාද්‍යවේදීයෙකු විසින් ඊයේ උසාවි භූමිය තුළදී එල්ල කළ ප්‍රහාරය අපි තරයේ හෙළා දකිනවා. මේ සිදුවීම මළු මහත් රටත්, ජාත්‍යන්තරයත් දැක්කා. ඉතිහාසයේ අපි කවදාවත් මෙහෙම පහරදීමක් දැක තිබුණේ නැහැ. ඉතිහාසය පුරාම අපි දැක්කේ ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ට පහර දෙනවා. ඒ සෑම අවස්ථාවකම අපි හිට ගත්තේ මාධ්‍යයේ පැත්තේ. මාධ්‍ය මර්ධනයට එරෙහිවයි අපි කතා කළේ. නමුත් මේ සිදුවීමත් සමග ඒ දේ වෙනස් වෙමින් තිබෙනවා.
ඒ වගේම තමයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රකාශය. එතුමා කිසිඳු පරීක්ෂණයක් පවත්වන්නේ නැතිවම ප්‍රකාශයක් නිකුත් කරනවා මෙය සාමාන්‍ය සිදුවීමක් කියලා. කොහොමද කිසිඳු පරීක්ෂණයක් නැතිව ඔහු එවැනි ප්‍රකාශයක් සිදුකරන්නේ. ඔහුගේ මේ ප්‍රකාශය හරහා අපිට පෙනී යන්නේ මේ බරපතල සිදුවීම ආණ්ඩුව විසින් සාමාන්‍යකරණය කරන්න හදනවද කියලා. මොකද මෙය පොලිසියට කරන එක්තරා බලපෑමක් විදිහටයි අපිට පෙනෙන්නේ.
අපිට මෙවැනි දේවල්වලින් බරපතල සැකයක් මතුවෙනවා, මේ මාධ්‍යවේදියා ඇත්තටම පහර දුන්නේ ආරක්ෂක නිලධාරියාටද එහෙම නැතිනම් හිටපු ජනාධිපතිවරයාට එල්ල කළ ප්‍රහාරයක් මේ ආරක්ෂක නිලධාරියාට එල්ල වුණාද කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, සාධාරණ, අපක්ෂපාතී පරීක්ෂණයකින් තොරව මෙවැනි ආර්ථකතන ලබාදෙන්න එපා කියලා. ඒ වගේම මේ සිදුවීම සම්බන්ධයෙන් නිවැරදි, සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න කියලා.
