October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සැබෑ වෙනසක් කිරීමට නම් ආගම රාජ්‍යයෙන් අයින් කළ යුතුයි.. – ගාමිණී වියන්ගොඩ

1 min read

ශ්‍රී ලංකාව සැබෑ ලෙසම දියුණු සමාජයක් බවට පත් කිරීමට නම් සිදු කළ යුතු ප්‍රධානතම හා මූලිකම පියවර වන්නේ රාජ්‍ය පාලනය සහ ආගම එකිනෙකින් වෙන් කිරීම (Secularism) බව ප්‍රවීණ ලේඛක හා සිවිල් සමාජ ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ මහතා අවධාරණය කරයි.

කෘතියක් එළිදැක්වීමේ උත්සව සභාවක් අමතමින් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, ආගම යනු තනි පුද්ගලයකු සතු පෞද්ගලික විශ්වාසයක් හා අයිතිවාසිකමක් පමණක් බවයි. එම අයිතිය සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් වුවද, රාජ්‍යයක් කිසිසේත්ම කිසිදු ආගමක් කරමත තබාගෙන කටයුතු නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝක ඉතිහාසය දෙස බැලීමේදී ආගම කරමත පටවාගත් කිසිදු රාජ්‍යයක් යහපත් පාලනයක් නිර්මාණය කිරීමට සමත් වී නොමැති අතර, රාජ්‍ය පාලනය සහ ආගම යනු එකට පෑහිය නොහැකි සංකල්ප දෙකක් බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය කාලය පුරා රට තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ ක්‍රමවේදයේ වෙනස (System Change) ආරම්භ කළ යුත්තේ ද රාජ්‍යයෙන් ආගම ඈත් කිරීමෙන් බවත්, ආගම සහ රාජ්‍ය පාලනය එකට පැටලුණු විට රටේ නීතිය හා යුක්ති ධර්මය බරපතළ ලෙස විකෘති වන බවත් ඔහු අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  ඉන්දීය ආරක්ෂක ඇමති විපක්ෂ නායක හමුවෙයි

ඊට නිදසුනක් දක්වමින් වියන්ගොඩ මහතා සඳහන් කළේ, අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් සම්බන්ධයෙන් මතුවූ සිදුවීමේදී අධිකරණ ක්‍රියාවලියට මුහුණ දී ඇප ලැබීමෙන් අනතුරුව ඊළඟ නඩු වාරය මාස හයකට පසුවට නියම වීම හරහා පවතින නීතිමය පද්ධතියේ ඇති පරස්පරතා මැනවින් පැහැදිලි වන බවයි.

එමෙන්ම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළද, අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීමට එය පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

සහරාන් හෂීම් පිළිබඳ බුද්ධි වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ එක් මේසයක් මත වසර එකහමාරක් තිස්සේ ගොඩගැසී තිබූ ආකාරය සිහිපත් කළ ඒ මහතා, අධිකරණ ප්‍රමාදයන් වැළැක්විය යුත්තේ එවැනි පරිපාලනමය දුර්වලතා නිවැරදි කිරීමෙන් බව ප්‍රකාශ කළේය.

වත්මන් රජය පෙර පැවති පාලනයන්ට වඩා යම් සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව පිළිගත යුතු වුවද, මෙම රජයද පැරණි ක්‍රමවේදය තුළම ගමන් කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව හඬ නැඟීම සහ බලපෑම් එල්ල කිරීම සිවිල් සමාජයේ අත්හැරිය නොහැකි වගකීමක් බවද ගාමිණී වියන්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  ඩෙංගු මට්ටුවට කිව් ඩෙංගා ඉන්දියාවට
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x