October 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දේශීය සිසුන් පාරට ඇද දමා ඩොලර් හොයන KDU බිස්නස් එක: නීති හිඩැස්වලට මුවා වී කළ මහා පාවාදීම

1 min read

රටේ ආරක්ෂක අංශවල වෘත්තීය නිපුණතාව වෙනුවෙන් වෙන් වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) අද වන විට නීති විරෝධී තීන්දු, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන අත්තනෝමතිකත්වයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව හමාරය. කිසිදු නීතිමය පදනමක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය මුදල් ගැරීමේ ක්‍රමවේදයකින් දහස් ගණනක් දේශීය දරුවන් අතරමං කර දැමූ බලධාරීන්, අද වන විට මහජන දේපළ මෙන්ම රෝගී ජීවිත පවා අනතුරට ලක්කරමින් සිටින්නේ කිසිදු වගවීමකින් තොරවය.

නීතිය කඩමින් ගෙන ගිය වසර 12ක ව්‍යාපාරය සහ හදිසි පාරට ඇද දැමීම

1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමි පනතට අනුව මුදල් අය කරමින් සාමාන්‍ය සිවිල් සිසුන් (Day Scholars) ඇතුළත් කරගැනීමට කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැත. එහෙත් එම පැහැදිලි නීතිමය යථාර්ථය හිතාමතාම නොසලකා හරිමින් 2012 වසරේ සිට මුදල් ගරාගැනීමේ මෙහෙයුමක් ලෙස සිවිල් සිසුන්ට වෛද්‍ය පීඨයේ දොරගුළු විවර කෙරිණි.

වසර දොළහකට වැඩි කාලයක් මෙම අනවසර භාවිතය නීතිගත කිරීමට කිසිදු පියවරක් නොගත් පරිපාලනය, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා දේශීය සිවිල් සිසුන් බඳවාගැනීම එක රැයකින් අත්හිටුවීමට තීන්දු කළේය. නීතිය සංශෝධනය කරන තෙක් “තාවකාලික පියවරක්” බවට ලේබල් ඇලවුවද, එහි සැබෑ ප්‍රතිඵලය වූයේ හමුදා කැඩෙට්වරුන්ට සහ විදේශිකයන්ට පමණක් අවස්ථාව වෙන් කර, රටේ බදු මුදලින් යැපෙන ආයතනයකින් දේශීය සිසුන් කුණු කූඩයට ඇද දැමීමයි.

ජනප්‍රිය පුවත්  අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

කිසිදු සංක්‍රාන්ති සැලසුමක් හෝ නිශ්චිත විසඳුම් කාලසටහනක් නොමැතිව ගත් මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට සිසුන් සහ දෙමාපියන් මුහුණ දී සිටින්නේ දැඩි ආර්ථික මෙන්ම මානසික බිඳවැටීමකටය. දේශීය දරුවන්ට තම රට තුළම ඉඩ අහුරා, අධික ඩොලර් වියදමක් දරා විදේශගත වීමට බලකිරීම හරහා රටේ විදේශ විනිමය පවා පීඩනයට පත්කිරීමට වගකිවයුත්තේ කවුරුන්ද?

කෝප් හමුවේ නිරුවත් වූ රෝහල් මාෆියාව

කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් වැය කර ඉදිකළ විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහල (UHKDU) ක්‍රියාත්මක වන්නේ කුමන නීතියක් යටතේද යන්න අදටත් පැහැදිලි නැත. එය රජයේ නිදහස් සෞඛ්‍ය සේවාවේ දිගුවක්ද, නැතහොත් අධික ගාස්තු අය කරන පෞද්ගලික ලාභ ලබන සමාගමක්ද යන්න පවා නිර්වචනය කරගැනීමට පරිපාලනය අසමත් වී ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවේ හෙළිදරව් වී තිබේ.

රෝහලේ සේවා ගාස්තු, වෛද්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීම් සහ ප්‍රතිකාර ක්‍රමවේදවල පවතින නීතිමය අවිනිශ්චිතතාව සෘජුවම පහර දෙන්නේ අසරණ රෝගීන්ගේ ජීවිතවලටය. රෝගී සත්කාරයට වඩා ආදායම් උත්පාදනයට මුල්තැන දෙන මෙම නොපැහැදිලි ආකෘතිය හරහා සිදුවන්නේ කුමක්ද යන්න බලධාරීන් රටට හෙළි කළ යුතුය.

ජනප්‍රිය පුවත්  රුපියල අදත් පල්ලම් බහී.. ඩොලරය 330යි..

ලක්ෂ ගණනක තඹ හොරකම සහ දිරාපත්වන අතිනවීන උපකරණ

ආරක්ෂක අංශ යටතේ පවතින රෝහල් පරිශ්‍රයක ආරක්ෂාව පිළිබඳ කතාව ද විහිළුවක් බවට පත්ව ඇත්තේ විගණන වාර්තා මගින් එළියට දැමූ බරපතළ වංචා හමුවේය. රෝහලේ අකුණු සන්නායක පද්ධතියේ රුපියල් මිලියන 8.44කට අධික වටිනාකමකින් යුත් තඹ පටි මීටර් 2,199ක් සොරකම් කර ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයකින් නොවේ. නැතිවූ බව පෙන්වන තොග සහ පොලිස් විමර්ශනවලදී සොයාගත් ප්‍රමාණ අතර පවතින බරපතළ පරස්පරතාව තුළින්ම පෙනී යන්නේ මෙය අභ්‍යන්තර ආවරණයක් සහිතව සිදුවූ සංවිධානාත්මක ජාවාරමක් බවයි.

වඩාත්ම අපරාධකාරී තත්ත්වය වන්නේ, මහජන මුදලින් මිලදී ගත් රුපියල් කෝටි ගණනක් වටිනා අතිනවීන වෛද්‍ය උපකරණ පෙට්ටි පිටින් භාවිතයට නොගෙන දිරාපත් වීමට ඉඩහැර තිබීමයි. පුහුණු කාර්ය මණ්ඩල බඳවා නොගැනීම සහ සැලසුම් රහිත කළමනාකරණය නිසා දැඩි සත්කාර ඒකක (ICU) පවා අක්‍රිය කර දමා ඇත. ප්‍රතිකාර නොලැබ අසරණ රෝගීන් ඇඳන් මත මියයන රටක, අතිනවීන ජීවිතාරක්ෂක යන්ත්‍ර නිකරුණේ මලකඩ කෑම සාමාන්‍ය නොසැලකිල්ලක් නොව, සමාව දිය නොහැකි අපරාධයකි.

සෙවනැලි සමාගම් සහ වසන් කළ ගනුදෙනු

ජනප්‍රිය පුවත්  වසර 5ක් තුළ ඇඟලුම් කර්මාන්තය එකම තැන කම්කරු නීති වෙනස් කළ යුතුයි

ආයතනය වටා ක්‍රියාත්මක වන CARE Technology Lanka සහ CUE Technologies Lanka වැනි වාණිජ සමාගම්වල ගනුදෙනු කඩිනමින් ස්වාධීන අධීක්ෂණයකට ලක්විය යුතු බවට පාර්ලිමේන්තු කාරක සභා පෙන්වා දී තිබේ. ආරක්ෂක ආයතනයක නාමය හා මහජන අරමුදල් පෞද්ගලික සමාගම් ව්‍යුහයන් පිටුපස සඟවමින් ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම් මොනවාද? විගණනයෙන් තොරව සිදුවන මෙම මුදල් සංසරණය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න අද වන විට බරපතළ සැකයක් මතු කරයි.

නව උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ හමුවේ ඇත්තේ ලිපිගොනු හුවමාරු කිරීමේ සාමාන්‍ය පරිපාලන රාජකාරියක් නොවේ. නීති විරෝධී බඳවාගැනීම් නතර කර අසරණ කළ සිසුන්ට දෙන විසඳුම කුමක්ද? කොල්ලකෑ මහජන දේපළවලට සහ අපතේ හැරි වෛද්‍ය උපකරණවලට වගකියන්නේ කවුද? සෙවනැලි සමාගම් හරහා ගලාගිය මුදල් කෝ? යන පැනයන්ට පැහැදිලි උත්තර ලබාදීමය. නීතියේ හිඩැස්වලට මුවාවී සිදුකළ මෙම මහා පාවාදීමට තවදුරටත් කඩතුරාවලින් ආවරණය වීමට ඉඩක් නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x