කියුබාව අල්ලනවා – ඩොනල්ඩ් ට්රම්ප්
1 min read
ඉරානය පිළිබඳ අර්බුදය නිරාකරණය කරගැනීමෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය කියුබාව පිළිබඳව අවධානය යොමු කරන බවත් ඒ සඳහා වන එකඟතාව අවසන් කිරීම පිණිස අමෙරිකානු රාජ්ය ලේකම් මාකෝ රූබියෝව කියුබාවට පිටත් කර යවන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ෆ්ලොරිඩාහි ෆෝර්ට් මයර්ස් නුවර පිහිටි ෆ්ලොරිඩා ගල්ෆ් කෝස්ට් විශ්වවිද්යාලයේදී පැවැති මැතිවරණ ප්රචාරක රැලියක් අමතමින් ජනාධිපති ට්රම්ප් මේ බව පවසා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම, “ඉරානයේ සිට ආපසු එන අතරමගදී අපි කියුබාව බලාගන්නවා… ඉන්පසුව ඒ ගනුදෙනුව අවසන් කිරීමට අපි මාකෝ රූබියෝව එහාට යවනවා,” යනුවෙන් සඳහන් කළ බව රොයිටර් වාර්තාවේ දැක්වේ.
අමෙරිකාව සහ කියුබාව අතර එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවට පසුගිය මාසයේදී ද අනාවැකි පළ කළ ජනාධිපති ට්රම්ප්, ඒ සඳහා හමුදාමය ක්රියාමාර්ගයක් ගැනීම අවශ්ය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මීට පෙර සඳහන් කර තිබිණි. කෙසේ වෙතත්, කියුබාවේ පවතින කොමියුනිස්ට් පාලනය වෙනස් කිරීම සිය රජයේ ප්රධාන අරමුණක් බව ට්රම්ප් පරිපාලනය මීට පෙර ප්රකාශ කර තිබුණි.
මේ වසර මුලදී අමෙරිකාව විසින් පනවන ලද තෙල් සම්බාධක හේතුවෙන් කියුබාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, පවතින දැඩි ඉන්ධන හිඟය සහ දුර්වල යටිතල පහසුකම් හමුවේ රට පුරා ක්රියාත්මක වන දීර්ඝ විදුලි කප්පාදුව නිසා කියුබානු ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.
වොෂින්ටනය වසර 60කට වැඩි කාලයක් මුළුල්ලේ කියුබාවට එරෙහිව ආර්ථික සම්බාධක පවත්වාගෙන යනු ලබයි. විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලාවේ එවකට ජනාධිපති නිකොලස් මදුරෝ ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදාව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව, හවානා පාලනය වෙත එල්ල කෙරෙන පීඩනය ට්රම්ප් පරිපාලනය විසින් තවදුරටත් දැඩි කර ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, පසුගිය මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කියුබානු විදේශ අමාත්යවරයා ප්රකාශ කර තිබුණේ, වොෂින්ටනය සමඟ රාජ්ය තාන්ත්රික මට්ටමේ සාකච්ඡා පැවැත්වීම සඳහා කියුබාව සැමවිටම විවෘතව පසුවන බවයි.
