ඓතිහාසික මහ කරඬුව ඉවත් කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි..
1 min read
ශ්‍රී දළදා මාළිගාවේ පෞරාණික ‘මහ කරඬුව’ ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් යොදාගැනීම පිළිබඳව මතුව ඇති බරපතළ සැකසංකා සහ චෝදනා විමර්ශනය කිරීම සඳහා වහාම ස්වාධීන ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ‘මහාසෝන් බලකාය’ සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ ස්වාධීන ජ්‍යෙෂ්ඨ නීතිවේදියකුගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා, ඉතිහාස, බෞද්ධ ශාසන, නීති සහ විගණන ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි මෙම කමිටුව සකස් විය යුතු බව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක දැක්වේ. පැරණි කරඬුව ඉවත් කිරීම, නව කරඬුව නිර්මාණය කිරීම, ඒ සඳහා ලද ලිඛිත අනුමැතීන්, ඊට මුදල් යෙදවූ පාර්ශ්වයන් සහ පැරණි කරඬුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් නිර්මාණය වී ඇති බැවින් ඒ ගැන විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පැවැත්වීම රජයේ වගකීමක් බව එම සංවිධානය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ද පැමිණිලි ඉදිරිපත්ව ඇත.
පැරණි කරඬුව පවතින ස්ථානය සහ එහි සුරක්ෂිතතාව ගැන නිල වාර්තාවක් හෙළිදරව් කිරීම, එය ඉවත් කිරීමට තීරණය කළ අය සහ මල්වතු-අස්ගිරි උභය මහා විහාරවල මෙන්ම පුරාවිද්‍යා විශේෂඥයන්ගේ අනුමැතිය ලැබුණේද යන්න සෙවීම, නව කරඬුවට මුදල් දුන් අය සහ එහි නෛතික ක්‍රමවේදය විමර්ශනය කිරීම මෙන්ම මාධ්‍ය වාර්තාවල නම් සඳහන් වන සියලු පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම ද එමගින් ඉල්ලා තිබේ.
දින 90ක් ඇතුළත මෙම විමර්ශන අවසන් කර මූලික සොයාගැනීම් ජනතාවට ප්‍රකාශ කළ යුතු බවත්, මහනායක හිමිවරුන් සමග සාකච්ඡා කර ශ්‍රී දළදා වහන්සේ නැවත පැරණි ඓතිහාසික මහ කරඬුවේ තැන්පත් කිරීමට පියවර ගත යුතු බවත් අදාළ ලිපියේ සඳහන් වේ. එමෙන්ම දින 90 තුළ සාධාරණ මැදිහත්වීමක් සිදු නොවන්නේ නම් ඉදිරියේදී සිදුවන ක්‍රියාමාර්ග පිළිබඳව රජය වගකිව යුතු බව ද එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
