October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය තවදුරටත්

1 min read

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්‍යම හා මහා පරිමාණ ජලාශ 38කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

දැදුරු ඔය, රාජාංගණය, ඉඟිනිමිටිය, යාන් ඔය සහ උස්ගල සියඹලන්ගමුව ඇතුළු ජලාශ කිහිපයක වාන් දැමීම සාපේක්ෂව ඉහළ අගයක පවතින බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය යටතේ විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මේ වන විට නිරීක්ෂණය නොවන නමුත් ජලාශ සහ ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ අගයක පවතින බව ඔහු පෙන්වා දෙයි.

ඊයේ දිනයේ වර්ෂාපතනයේ අඩුවීමක් දක්නට ලැබුණු අතර, කළු ගඟ හා කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 60කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබේ.කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 40කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව බොහෝ ගංගාවල ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පවතින නමුත් නිල්වලා, ගිං, කළු සහ කැලණි ගංගා ආශ්‍රිත ඇතැම් පහත් බිම්වල තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතී.

ජනප්‍රිය පුවත්  ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය තවදුරටත්

නිල්වලා ගඟේ අකුරැස්සට පහළ තල්ගහකොඩ සහ මාතර ආසන්න ප්‍රදේශවලත්, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයේත් ජල මට්ටම් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කළු ගඟේ මිල්ලකන්ද, උටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවල ද ජල මට්ටම් ඉහළ අගයක පවතින අතර, කළුතර දිස්ත්‍රික්කයේ ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර, කැලණි ගඟේ සහ අත්තනගලු ඔයේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පැවතිය ද, ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන සහ ජාඇල වැනි පහත් බිම්වල ජලය තවදුරටත් රැඳී පැවතිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

අද දිනයේ ද සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, වර්ෂාව ලැබෙන ප්‍රදේශවල ගංගා හා පහත් බිම්වල ජල මට්ටම් යළි ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එබැවින් ජලය රැඳී ඇති ස්ථානවල දිය නෑම, ජල ක්‍රීඩා කිරීම සහ අනෙකුත් අවදානම් ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x