පේරාදෙණියේ ඇදුරෝ 100ක් රැකියාව හැර ගිහින්
1 min read
පේරාදෙණිය විශ්වවිද්යාලයේ අටසීයක් පමණ වන ආචාර්ය මණ්ඩලයේ සිය දෙනකු පමණ පසුගිය වසර 2 1/2 ක කාලය තුළ රැකියාව හැරගොස් තිබෙන බව විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රුචික ප්රනාන්දු පැවැසීය.
කෝප් කමිටුවේදී පසුගිය අගෝස්තු මස මෙය අනාවරණය වූ බවත් තවත් පිරිසක් ඉල්ලා අස්වීම ලබාදී තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් ඔහු පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්යාලයේදී පැවැති මාධ්ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රුචික ප්රනාන්දු මෙසේද පැවසුවේය.
“විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් වෘත්තිය ක්රියාමාර්ග දැඩි කිරීමට ආචාර්ය සම්මේලනය පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් නවක සිසුන් බඳවා ගැනීමේ ක්රියාවලිය දැඩි අර්බුදයකට ලක්විය හැකියි. පේරාදෙණිය විශ්වවිද්යාලය ගත්තම පශ්චාත් උපාධි හා ප්රථම උපාධිය හදාරන සිසුන් 25000 ක් පමණ ඉන්නවා. මේ ශිෂ්ය ශිෂ්යාවන්ට උගන්වන්න ආචාර්ය මහචාර්වරු ඉන්නේ 800 කටත් අඩු ප්රමාණයක්. මේ සුළු පිරිසෙන් විශ්වවිද්යාලයේ ඉන්න සමස්ත සිසු පිරිසට ඉගැන්වීම් කටයුතු හරියාකාරව කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා. පේරාදෙණිය විශ්වවිද්යාලයේ තිබෙන ඇතැම් උපාධි පාඨමාලාවලට එම පාඨමාලටව විශේෂවූ ආචාර්යවරයෙක් නැහැ. වෙනත් පාඨමාලාවලට උගන්වන ආචාර්ය මහාචාර්යවරුම තමයි ඒ උපාධි පාඨමාලා පවත්වාගෙන යන්නේ. මේ ගැන මාස දෙකක් තිස්සේ විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය විදිහට අපි කතා කළා. මෙතෙක් සාධනීය ප්රතිපලයක් ලැබිලා නැහැ. ඒ නිසා ක්රියාමාර්ග තීව්ර කරන්න කටයුතු කරලා තියෙනවා.
දැනට සිටින සිසුන් සඳහා ඉගැන්වීම් සිදු කිරීමට ප්රමාණවත් ආචාර්යවරු නොමැති පසුබිමක නවක සිසුන් බඳවා ගැනීමෙන් අර්බුදය තවත් තීව්ර වෙනවා. සිසුන්ට මහපොළ ශිෂ්යත්ව අරමුදල් නිසි වේලාවට නොලැබීම තවත් ගැටලුවක්. මේ මාසය වනවන විට සිසුන්ට මෙම වසරට අදාළව මහපොළ වාරික ලැබී තිබෙන්නේ 06 යි. දිට්වා වෙලාවේ ලබාදුන් විශේෂ වාරිකයත් එක්ක තමයි මේ වාරික ගණන 07 ක් බවට පත්ව තිබෙන්නේ. මේ වනවිට නේවාසිකාගාරවල එක කාමරයක සිසුන් 04 දෙනෙකුට ඉන්න වෙලා. මේ කාමර එක් අයෙකුට හෝ දෙන්නෙකුට ඉන්න පුළුවන් ඒ්වායි.ළමයි කුකුළු කූඩු වගේ ළමයි පහසුකම් නොමැති කාමරවල කොටු කළාම ඒ අය තුළ අධ්යාපන කටයුතු කරගෙන යන්න තරම් සුදුසු මානසිකත්වයක් ඇති වෙන්නේ නැහැ.
පේරාදෙණිය විශ්වවිද්යාලය QR ලෝක ශ්රෙණිගත කිරීම් අනුව 2020 දී හිටියේ ලෝකයේ 401-500 කාණ්ඩයේයි. 2025 වනවිට මුල් 100 අතරට ඒම තමයි අපේක්ෂාව වුණේ. ඒ වුණාට 2026 දී අපි 1201-1500 කාණ්ඩය දක්වා පහතට වැටිලා. ආචාර්ය හිඟය, ශිෂ්ය සුබ සාධන ගැටලු වගේ ගොඩක් දේවල් මේකට බලපා තියෙනවා.
පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආචාර්යවරුන්ගෙන් 10 % ක් පමණ පසුගිය වසර 2 1/2 දී තනතුරු අත්හැර සේවයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. අපි හිතුවා කොවිඩ් වලින් පස්සේ විශ්වවිද්යාල ආචාර්යවරු රට අත්හැර යාම අඩුවෙයි කියලා. මේ වනවිටත් අස්වීමේ ලිපිය විශ්වවිද්යාල පාලනාධිකාරියට ලබාදී සිටින ආචාර්යවරු ඉන්නවා. මේ විදිහට ගියොත් අපේ රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තවත් අවුරුදු 10 ක් යන්න කලින් කඩා වැටෙනවා. අධ්යාපනය සඳහා අයවැයෙන් 6 % ක් වෙන් කරන බව මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ප්රතිපත්ති ප්රකාශනයේ දක්වා තිබුණත් ආණ්ඩුව පසුගිය වසරේදී සැබෑ ලෙස වෙන් කරනු ලැබුවේ 2 % ක් පමණයි.
පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා හා සංඛ්යාන විද්යා දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ මහචාර්ය ආනන්ද ජයවික්රම මහතාද මෙහිදී කතා කළේය.
