සූරසේනගේ දිගුවට එරෙහිව නීතිඥයෝ සටනට බසිති !
1 min read
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දිගින් දිගටම විධිමත් කරුණු දැක්වීම් නොසලකා හැර අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනව විශ්‍රාම වයස දිගුකරවා තවදුරටත් අගවිනිසුරු ධූරයේ තබාගැනීමේ ආණ්ඩුවේ අශිෂ්ඨ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය සාමාජිකයන් කොළඹට රැස් කිරීමට තීරණය කර තිබේ. ඒ, මෙම ජූලි මස බදාදා පෙ.ව. 11.00 ට රාජ නීතිඥ ආචාර්ය එච්.ඩබ්ලිව්. ජයවර්ධන ශ්‍රවණාගාරයට ය. එය පිහිටා ඇත්තේ කොළඹ 12, මිහිඳු මාවතේ වන ශ්‍රී ලංකා නීතීඥ සංගම් ලේකම් කාර්යාලය තුළය.
දැනටමත්, එම සංගමයේ ලේකම් නලින්ද සිල්වා විසින් එම කරුණු ශ්‍රී ලංකාවාසි නීතීඥ සංගම් සෑම සාමාජිකයකුටම දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙලෙස මහා සභා රැස්වීම කැඳවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත්තේ පසුගිය ජූලි 17 වෙනිදා පැවතී ඇති එම සංගමයේ විධායක කමිටු රැස්වීමේ දී ය.
මෙහි දී සාකච්ඡාවට ගැනීමට සංගමය අපේක්ෂා කරනුයේ, “ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් ඇතුළු විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පියවර” පිළිබඳව සහ “සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට එරෙහිව දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමයේ තීරණය” පිළිබඳව මෙන්ම, “ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4 ක් බැගින් පිරැවීම සඳහා විධායකය විසින් දීර්ඝ කාලයක් ප්‍රමාද කිරීම” යන කරුණු පිළිබඳව ය.
සූරසේන තවදුරටත් අගවිනිසුරු පුටුවේ තබාගෙන, මුළු මහත් අධිකරණය විධායකයේ “අවියක්” බවට පත්කර ගැනීමේ ජනාධිපති අනුර කුමාරගේ අශිෂ්ඨ උත්සාහයට එරෙහිව මෙරට නීතිඥ ප්‍රජාව එකතුවීමින් ඉන්නේ තම පක්ෂ මතවාද පසෙක දමමින් ය.
මේ අතර, අද පස්වරු 4.30 ට, විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ආරාධනාව පරිදි විපක්ෂය නියෝජනය කරන සියළුම පක්ෂ නායකයන් කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලට රැස්වීමට නියමිතය. එම රැස්වීම ද කැඳවා ඇත්තේ “වත්මන් රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අප රටේ අධිකරණයේ යහපැවැත්ම බරපතළ අභියෝගයකට ලක්ව ඇති” බැවින්. ඊට එරෙහිව ගත යුතු පියවර ගැන සමස්ත විපක්ෂ විසින්ම තීරණය කර ගැනීම සඳහා ය.
එහි දී ද උක්ත කරුණු සම්බන්ධයෙන් බලවත් තීරණ රැසක් ගැනීමට විපක්ෂ පක්ෂවල නායකයන් පෙළගැසී සිටිතැයි අපගේ ආරංචිමාර්ග පෙන්වා දේ.
- සම්පත් සිගේරා


