විශ්‍රාම යෑමේ වයස ඉහළ දමන්නේ නඩු තොගය අඩුකරන්නයි කියන්නේ ටොම් පචයක් | කුසල් පෙරේරා
1 min read
උසාවිවල නඩු ලක්ෂ ගාණක් ගොඩ ගැහිලා. ඒ සමග බන්ධනාගාරවල රැඳවියන් දහස් ගණන් “සැමන්” කරලා. ඒ තදබදය අස්සේ බන්ධනාගාරවල දූෂණයත් මත්ද්‍රව්‍ය ජාවාරමත් සීඝ්‍රයෙන් වගා වෙලා. ඒවා පාලනය කර ගන්නත් අමාරු තත්ත්වයක් ඇති වෙලා.
ආණ්ඩුව කියන්නේ, මේ අර්බුදයට විසඳුමක් හැටියට ගොඩ ගැසී ඇති නඩු සංඛ්‍යාව හැකි ඉක්මණින් අඩු කරන්න විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ කාලය දීර්ග කිරීමට, ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙනවා කියලයි.
මේක පට්ටපල් බොරුවක්. මේ බොරුව සමාජය ඉදිරියේ නිරුවත් කරන්න විපක්ෂයේ කවුරුවත් දන්නේ නැහැ වගේ. විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ග කෙරුවම, ගොඩ ගැසී තියෙන නඩු සංඛ්‍යාව අඩු වෙන්නේ කොහොමද?
■ විශ්‍රාම යෑමේ වයස දීර්ග කෙරුවම දිනකට ඇසෙන නඩු සංඛ්‍යාව වැඩි වෙනවද?
■ ඒවා කල් තැබෙන හේතු වෙනස් වෙනවද?
■ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ග කෙරුවම, මාස ගණන් ප්‍රමාදවෙන රස පරීක්ෂක වාර්තා සතියකින් දෙකකින් ලැබේවිද?
■ අවසන් නොවුනු පොලිස් පරීක්ෂණ වහා අවසන් වේවිද?
■ නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති නඩු වාර්තා දිනකින් දෙකකින් අවසන් වෙයිද?
■ විශ්‍රාම යෑමේ වයස දීර්ග කෙරුවම, උසාවිවල දිනකට වැඩ කෙරෙන පැය ගාණ වැඩි වෙනවද?
■ දිනකට ඇසෙන නඩු සංඛ්‍යාව වැඩි නොවී, ගොඩ ගැසී තියෙන නඩු සංඛ්‍යාව අඩු වෙන්නේ කොහොමද?
මේ එකකටවත් ආණ්ඩුව යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනයෙන් උත්තර ලැබෙන්නේ නැහැ. මෙහෙම නඩු ගොඩ ගැසීමට විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව සම්බන්ධයක් නැහැ. ඊට හේතු වන තව කාරණා ගණනාවක් තියෙනවා. පොලීසියේ ප්‍රමාද, රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය, නීතිපති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව, පහළ උසාවිවල ඇප දීමේ පිළිවෙත, නීතිඥයින්ගේ දූෂිත කල්කිරියාව, නඩු ගොඩ ගැසීමට එකතුවන අනෙක් කාරණා ය.
ඒවා ගැන කතා නොකර, ඒවාට පිළියම් සොයන්නේ නැතුව ජනාධිපති අනුර කුමාර හිතුවක්කාරී ලෙස මේ විශ්‍රාම යෑමේ කතාව ඇදගෙන යාමේ ඔහු නොකියන ඇත්ත හේතුව දැන ගන්න නම්, විපක්ෂය කිව යුත්තේ එකම එක කතාවයි.
“අපි ආණ්ඩුවේ ව්‍යවස්ථාවට එකම එක සංශෝධනයක් සමග….. පූර්ණ සහාය දෙනවා….අපේ සංශෝධනය තමයි, ‘මෙම සංශෝධනයට අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමා ඉහළ දැමීම, 2027 ජනවාරි 01 වන දින සිට සියලු විනිසුරුවරුන්ට අදාලව බලාත්මක කළ යුතුය’ යන සංශෝධනය”
ජනාධිපති ඊට කැමතිවේද? කැමති වෙනවා නම්, ඔහුට විරුද්ධව ඉදිරිපත් කරන දේශපාලන චෝදනා වලින් ඔහුට නිදහස් වෙන්න පුළුවන්. නමුත් පේන හැටියට, ඒ චෝදනා මොනවා වුනත් ඔහුට අවශ්‍යව තියෙන්නේ ඔහුගේ යෝජනාව ලබන අගෝස්තු මාසයේම සම්මතකර ගැනීම පමණයි.
කෝකටත් 2027 ජනවාරි 01 වන දින සිට ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම යෝජනා කරලා බලමු.
සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
