June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්‍ෂය ?

1 min read

සජිත් ප්‍රේමදාස බය කාටද ? සජිත් වැඩියෙන්ම බය රනිල්ට ය. ඊළඟට බය අනුරට ය. සජිත් රනිල්ට බය වෙන්නේ, මීලඟ ජනාධිපතිවරණයකදී ද තමන්ට දිනන්නට ඇති අවස්ථාව අහිමි කරනු ඇතැයි සිතාය. අනුරට බය වෙන්නේ, තමන් ජය නොගතහොත්, ඉතිරි දුර අල්ලාගෙන ඉන්නට සිදුවන්නේ අනුරගේ පිහිට මතින්යැයි සජිත් සිතන නිසාය. දැනට ද සජිත් ඉන්නේ අනුරගේ පිහිටෙන් බව පැහැදිලිය.

සජිත් විපක්‍ෂනායක ය. විපක්‍ෂනායක සජිත්ට හිමිවන්නේ ඇමැතිවරයකුට හිමි වරප්‍රසාදය. අයවැයෙන් පාර්ලිමේන්තුවට යන වැය ශීර්ෂය යටතේ වන වියදම් වල සජිත්ව නඩත්තු කරන්න වෙන් කරන මුදල ද තිබෙන්නේ ඒ නිසාය. ඒ ගැන අපට නම් ප්‍රශ්නයක් නැත.

නමුත් සජිත් විපක්‍ෂනායක භූමිකාව ඉටුකරමින් සිටින්නේ අනුර කුමාරගේ බලයට අවුලක් නොවෙන ප්‍රමාණයටය. ඒ හින්දා සජිත්ට සිදු වී ඇත්තේ, සබ්මැරීන් වර්ග ගැන කතා කර කර ඉන්නටය. එනවා යැයි කියන එල් නිනෝ තත්වය ගැන කියව කියවා ඉන්නටය. ඒවා කියවනවා හැර ආණ්ඩුවේ නිල බලා පහරදීමක් සජිත් කරන්නේ නැත.

අගවිනිසුරුගේ විශ්‍රාම වයස අවුරුදු 2 කින් දික් කරන්න හදන ජනාධිපතිගේ ඒකාධිපති වෑයම ගැන සජිත් කට අරින්නේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයට පටලවා හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ගැන වචනයක්වත් කියන්නට සජිත්ට බැරිය. ආර්ථික අර්බුදය ගැන කතා කරද්දි IMF උගුලේ සිටිනතාක් කල් මෙයින් ගොඩ ඒමට නොහැකියැයි සජිත් දන්නේ නැත. සජිත් කියන්නේ ඉක්මනින් තවත් IMF ගිවිසුමකට යන්නයි කියාය.

ජනප්‍රිය පුවත්  නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!

ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ අමාරුවේ වැටෙන කලාපය සජිත්ගේ සටන්බිම නොවේ. ඔහුගේ සටන්බිම සබ්මැරීන් ය. එල් නිනෝ ය. එසේ නොමැතිව ආණ්ඩුවේ හොරකම හා උපායමාර්ගික ගමන් මගේ ඇති වැරැද්ද ගැන ඔහු කටවත් අරින්නේ නැත.

සජිත් කරන්නේ විපක්‍ෂ සංග්‍රාම යාත්‍රාවට නැංගුරම්ලා තබාගෙන සිටීමය. තබාගෙන සිටින බව නොදැනෙන්නට මොන මොනවා හෝ කරමින් සිටීමය. මේ නිසා සිදුව ඇත්තේ දේශපාලන බිම අතිශය ව්‍යාකූල තත්වයට ඇද වැටීමය. ඒ හේතුව මත චූන්වෙන ලාල් කාන්තලා, “ෆවුල් ෂොට්” ගසා හෝ අපි බලයේ ඉන්නවායැයි කියා චූන් ගන්නේ ඒ හින්දාය.

විපක්‍ෂනායක සජිත් හැකි ඉක්මනින්ම විපක්‍ෂනායක විය යුතුය. විපක්‍ෂනායකකම යනු, පාර්ලිමේන්තුව පවතින දිනවල උදේ වරුවේ කතා පවත්වා ඒමයැයි වරදාවා වටහාගත යුතු නැත. විපක්‍ෂනායකයා පළමුව කළ යුත්තේ පවතින ආණ්ඩුවේ අසමත්භාවයේ හේතු හඳුනාගැනීමය. ඊට විකල්පව තමන් සතුව ඇති ගමන පැහැදිලි කරගැනීමය. ඒ පැහැදිලි කරගනු ලබන ගමනට ගැලපෙන එකමුතුව සෑදීමය. මේ මොන හත්වලාමක්වත් මේ විපක්‍ෂනායකයා කරන්නේ නැත. ඔහු කරන්නේ තමන්ගේ පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කර, එය ටී.වී. එකෙන් බලා ස්වයං වින්දනයක් ලබාගෙන යාල වනයට වී ආතල් එකේ සිටින එකය.

ජනප්‍රිය පුවත්  ඇඳ ජන සතු කිරීම

අද මෙරට ජනතාවට ආණ්ඩුවක් ද නැත. විපක්‍ෂයක් ද නැත. ජනතාවට උවමනා විපක්‍ෂය නිර්මාණය නොවුණහොත් ජනතාවම තමන්ට තේරෙන අන්දමට විපක්‍ෂය වනු නියතය. එසේ වුවහොත් එවැනි තත්වයක් කෙළවර වනු ඇත්තේ කොපමණ අරාජික අන්තයකින්දැයි අප දන්නේ නැත.

පීඩාවට පත්ව සිටින ජනතාවට දෘශ්ඨිමය මඟපෙන්වීමක් විපක්‍ෂයෙන්ද නොලැබෙන විට, මිනිස්සු මිනිස්සුන්ගේ වේදනාව ඔහේ පිට කර හරිනු නැතැයි කාට කිව හැකිද?

අප දැන් ඉන්නේ එවැනි සංධිස්ථානයකය. කෝපය දිනපතා තැන්පත් වේ. පොලිය කවදා කීය දක්වා වැඩිවනු ඇත්දැයි අප දන්නේ නැත. ආර්ථික වශයෙන් හෙම්බත් වූ සමාජයීය වශයෙන් අසහණකාරී වූ තත්වයක මිනිස්සු ක්‍රියා කරනු ඇත්තේ කෙසේ ද?

මේ ගැන නොසිතන ආණ්ඩුව ගැන අපට සිතා ගත හැකිය. මේ ගැන නොසිතන නෝංජල් විපක්‍ෂය ගැනනම් අපට සිතා ගත නොහැක. ඒ අපේ අඩුවක් නිසාදැයි අප දන්නේ නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x