විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: ‘ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?’ – ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
1 min read
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.
එහිදී අදහස් දක්වමින් ප්‍රකට නීති විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කර සිටියේ, මෙම ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ අභිලාෂය ගොඩගැසී ඇති නඩු කටයුතු ඉක්මනින් විභාග කර අවසන් කිරීම නම්, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ධුරයේ සිටි සමයේ මෙම සංශෝධනය ඉදිරිපත් නොකළේ මන්ද යන්නයි.
“භයානක පූර්වාදර්ශයක් නිර්මාණය වීම”
මෙම සාකච්ඡාවට එක්වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥ ආචාර්ය රොහාන් එදිරිසිංහ පෙන්වා දුන්නේ, අධිකරණයේ හමාර නොකළ කටයුතු අවසන් කිරීම සඳහා යම් අගවිනිසුරුවරයෙකු තබාගත යුතුය යන තර්කය පදනම් කරගනිමින් කටයුතු කිරීම අතිශය භයානක තත්ත්වයක් බවයි.
ආණ්ඩුව ආරම්භ කරන ලද කටයුතු අවසන් කිරීම සඳහා දිගටම පවතින ආණ්ඩුවම බලයේ සිටිය යුතුය යන තර්කය හෙට දිනයේදී මතුවුවහොත් සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කළ හෙතෙම, පුද්ගල සාධක මත පදනම්ව ව්‍යවස්ථාපිත වෙනස්කම් සිදුකිරීමෙන් භයානක පූර්වාදර්ශයන් නිර්මාණය වන බව සඳහන් කළේය.
ව්‍යවස්ථාපිත පදනම සහ සංවිධායකයන්ගේ කාර්යභාරය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥ ආචාර්ය අසංග වැලිකළ මෙහිදී අවධාරණය කළේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව යනු නොසලකා හැරිය හැකි අංගයක් නොව එහි කේන්ද්‍රීය පදනම බවයි. අධිකරණයේ ස්වාධීනත්වය යනු එම පූර්විකාවෙන්ම සුරක්ෂිත කර ඇති, අත්‍යවශ්‍යයෙන්ම ආරක්ෂා කරගත යුතු ප්‍රජාතන්ත්‍රවාදී කූටප්‍රාප්තියක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) මෑතකදී පවත්වන ලද සමීක්ෂණයකින් ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ ජනප්‍රියතාව පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම ආණ්ඩු හිතවාදීන්ගේ පැසසුමට ලක්ව තිබූ පසුබිමක, අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් එම ආයතනයම මෙලෙස ප්‍රශ්න කිරීමත් සමඟ ආණ්ඩුපාක්ෂික පාර්ශ්වයන්ගෙන් ඊට විවේචන එල්ල වීමේ ප්‍රවණතාවක් ද ක්ෂේත්‍රය තුළ මතුවෙමින් පවති.
විමර්ශන පසුබිම
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම නීතිඥ ප්‍රජාව සහ සිවිල් සංවිධාන අතර ද දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති අතර, ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ ද ඒකාබද්ධව කරුණු දක්වමින් සිටිති.
උපරිමාධිකරණ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටද ඒකාබද්ධ විපක්ෂය මේවනවිට තීරණය කර ඇත.
” ආණ්ඩුව මේ වැඩ පිළිවෙළ කරන්නේ හැංගි හොරා. කිසිම විනිවිද භාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමයක් අධිකරණ ඇමතිවරයාට ලිපියක් යවා තියෙනවා. මේ ගැන ඉදිරියේදී තානාපති කාර්යාල දැනුවත් කළ යුතුයි” යයි මහචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ රැස්වීමේදී කතා කර විසිර යනවාට වඩා සැලසුමක් ඇතිව අංග සම්පූර්ණ වැඩ පිළිවෙලක් සඳහා එකඟත්වයකට එළඹීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.


