විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණයෙන් මාලිමාවේ අභ්‍යන්තර අර්බුදයක්
1 min read
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ දැඩි මතභේදයක් හටගෙන ඇති බව ඊයේ (30) ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරයි.
පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත පෙන්වා දෙයි.
ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා මෙම තීරණයට සිය සෘජු විරෝධය පළ කරමින් පවසන්නේ, මේ පිළිබඳව පක්ෂයේ නායකත්ව මණ්ඩලය හෝ විධායක සභාව මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බවත්, මෙය ඇතැම් පුද්ගලයන්ගේ පෞද්ගලික අදහසක් විය හැකි බවත්ය. එමෙන්ම, තමා මේ පිළිබඳව විරෝධය දැක්වූ අවස්ථාවේදී නිහඬව සිටින ලෙස තමාට දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරන්නේ ඉහළ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂයේ බහුතරයකගේ එකඟතාව හිමිව ඇති බවයි. තවද ලාල් විජේනායක මහතාට නිහඬව සිටින ලෙස කිසිවකු දැනුම් දී නොමැති අතර, අදහස් ප්‍රකාශ කිරීමට පක්ෂය තුළ කිසිදු බාධාවක් කර නොමැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මේ අතර, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම අධිකරණ සේවා සංගමයද සිය දැඩි විරෝධය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ නියෝජිතයන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර, නීතිඥ සංගමය ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී තිබේ.
