“වතුර ඉල්ලුවාම එයාගේ ඉස්සරහාම බිමට හළලා” – ජපන් පොලිස් කූඩුවේ මියගිය විචක්ෂණගේ මවගෙන් කම්පා කරවන හෙළිදරව්වක්
1 min read
ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ සුචියුරා (Tsuchiura) පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී පසුගිය මැයි 19 වන දින අභිරහස් ලෙස මියගිය 22 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවා වන විචක්ෂණ සුපසන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මව වන දර්ශි හෙන්දාවිතාරණ මහත්මිය බීබීසී සිංහල සේවයට අතිශය සංවේදී කරුණු රැසක් අනාවරණය කර තිබේ. මෙය හුදු ස්වභාවික මරණයක් හෝ නොසලකා හැරීමක් පමණක් නොව, අමු අමුවේ සිදුකළ ඝාතනයක් බවට ඇය එහිදී දැඩිව චෝදනා කළාය.
“මාව බේරගන්න යැයි ඔහු අයැද සිටියා”
ජපානය වැනි සංවර්ධිත යැයි සම්මත රටක නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් තුළ, සිය දරුවාට ජල පොදක් හෝ නොදී සිදුකර ඇති අමානුෂික වධහිංසා පිළිබඳව මව කඳුළු සලමින් විස්තර කළාය. විචක්ෂණ විසින් සිය නැගණියට දුරකථනයෙන් පවසන ලදැයි කියන තොරතුරු ඇය මෙහිදී මාධ්‍යයට හෙළි කළාය.
“වතුර ඉල්ලුවාම නිලධාරීන් වතුර එකක් ගෙනැල්ලා එයාගේ ඉස්සරහාම ඒක බිමට හළනවා කිව්වලු නංගිට. වතුර බොන්න දෙන්නේ නැහැ කියලා එයා කියලා තියෙනවා”
මාස තුනක් පුරා අත්අඩංගුවේ පසුවෙමින්, දැඩි අසනීප තත්ත්වයෙන් සහ අසරණව සිටි විචක්ෂණ සිය ජීවිතය බේරාගැනීම වෙනුවෙන් කළ අවසන් අයැදීම ද ඇය දැඩි වේදනාවෙන් යුතුව සිහිපත් කළාය.
“මට හරි අමාරුයි, ලෝයර්ට කියන්න මාව බේරගන්න”
සාප්පු සවාරියක් මරණයෙන් කෙළවර වූ හැටි
2023 වසරේදී කාර්මික පාඨමාලාවක් සඳහා ජපානයට ගිය විචක්ෂණ, 2026 පෙබරවාරි 22 වැනිදා සුචියුරා නගරයේදී අත්අඩංගුවට පත්වන්නේ වෙළෙඳසලකින් බඩු සොරාගත් බවට එල්ල වූ චෝදනාවක් මතය. එහෙත් එම චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් පැමිණිලි පාර්ශ්වය සතුව තිබුණේ නැත.
සාක්ෂි නොමැතිව වුවද, මාස තුනකට ආසන්න කාලයක් ඔහුව පොලිස් කූඩුවක රඳවා තබා ගනු ලැබුවේ ජපානයේ කුප්‍රකට ‘ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ අධිකරණ ක්‍රමය’ (Hostage Justice System) යටතේය. තම අකමැත්තෙන් හෝ සැකකරු ලවා වරද පිළිගැනීමේ පාපොච්චාරණයක් ලබාගන්නා තෙක් ඇප ලබා නොදී, දැඩි මානසික හා ශාරීරික පීඩාවන්ට ලක් කිරීම මෙම කෲර ජපන් නීති ක්‍රමවේදයේ ස්වභාවයයි.
වසන් කරන සාක්ෂි සහ නිහඬ රාජ්‍යතාන්ත්‍රිකයෝ
2021 වසරේදී ජපාන රැඳවුම් කඳවුරකදී මියගිය විෂ්මා සඳමාලිගේ ඛේදවාචකයට හරියටම සමාන අයුරින් විචක්ෂණටද වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ඇති අතර, මරණයෙන් පසුවද බලධාරීන්ගේ හැසිරීම අතිශය සැකකටයුතු බව වාර්තා වේ.
මරණයෙන් පසු විචක්ෂණගේ සහෝදරිය වන සත්‍යානි ශාක්‍යා සුචියුරා පොලිසියට කළ පැමිණිල්ල භාරගැනීම ජපන් පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මියගොස් සති ගණනක් ගතවීත්, මරණයට සැබෑ හේතුව වසන් කිරීමේ අරමුණින්දැයි සැක මතුකරමින් සිරුර තවමත් ජපානයේ මෘතශරීරාගාරයක තබා ඇත.
මාස තුනක් තිස්සේ ලාංකික තරුණයෙකු අසාධාරණ ලෙස සිරකරගෙන සිටියදීත් ඒ පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපොහොසත් වී තිබේ.
විචක්ෂණගේ මවගේ මෙම කම්පා කරවන හෙළිදරව්වත් සමඟ, ජපානයේ දිදුලන ප්‍රතිරූපයට මුවා වී ක්‍රියාත්මක වන අමානුෂීය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මෙන්ම, තම පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා රජයේ රාජ්‍යතාන්ත්‍රික යාන්ත්‍රණය පිළිබඳව ද දැඩි සමාජ කථිකාවක් නිර්මාණය වී තිබේ. ස්වාධීන පරීක්ෂණයක් සඳහා ජපානයට බලපෑම් කළ යුතු බවට විවිධ පාර්ශ්ව මේ වනවිටත් හඬ නඟමින් සිටියි.
