චම්පක කැපේ !
1 min read
ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයාව පැමිණීමේ බලාපොරොත්තුව සහිතව ක්‍රියා කළ හිටපු අමාත්‍ය චම්පක රණවක පසුගිය කාලය තුළ තමන්ට අභියෝගයක් විය හැකි චරිත කපා දමා ක්‍රියා කරන ලද ආකාරය හේතුකොටගෙන මේ වන විට එම කඳවුර තුළ නොසලකාහැරීමට ලක් වී තිබෙන චරිතයක් වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පසුගිය ඉරිදා (05) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හදිසියේම ඒකාබද්ධ විපක්ෂයේ නායක රැස්වීමක් කොළඹ මල් පාරේ පිහිටි තම කාර්යාලයට කැඳවා තිබේ. හිටපු අමාත්‍යවරුන් වන ජී.එල්. පීරිස්, චම්පක රණවක, ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල ආදී විවිද පක්ෂ හා දහරා නියෝජනය කරන පක්ෂ නායකයින් හා නියෝජිතයින් ඒ සඳහා සහභාගි වී තිබේ. මෙහිදී, දේශපාලන කරුණු හා ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කිරීමේ දී චම්පක රණවක ඉදිරියේ තබාගෙනම, හිටපු ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ “මම මේ චම්පකව මුදුනෙ තියාගෙන යනව කියලා සමහරු හිතාගෙන ඉන්නවා. එහෙම දෙයක් මෙතන නෑ. මම කරන්නේ එන ඉෂූ එක අනුව ඉන්න අයගෙන් ඒ ඉෂූ එක ගැන කරුණු දන්න හා කියන කෙනාව ඉදිරියට ගේන එක. ගල් අඟුරු ප්‍රශ්නෙදි චම්පක ඒක ගැන අධ්‍යයනය කරල තියෙන නිසා මම ඒකට ඉඩ හැදුවා. එහෙම නැතුව කිසිකෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයකට ගෙන ඒමේ අදහසකින් මම වැඩ කරන්නේ නෑ” යනුවෙන් ය.
එහිදී, විපක්ෂයේ අනෙකුත් පිරිස් ද එක්කර ගතයුතු බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරද්දී, ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයා විසින් පවසා ඇත්තේ “නාමල්ලනම් කොහොමටත් මේ ක්‍රියාදාමයට එකතු නොවන” බවය.
එම මතය දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට ප්‍රතිවිරුද්දව පවසා ඇත්තේ, නාමල් සහභාගිවන කටයුතුවලදී ප්‍රධාන තැන එයාට ලැබෙන විදියට ක්‍රියා කළ යුතු බවය. එසේ වන්නේනම් ප්‍රශ්නයක් පැන නොනගින බවය. “කොහොමටත් නාමල්ලා දැන් රට පුරා සංවිධාන ජාලයක් හදනවනෙ. චම්පකට එහෙම ජාලයක් නෑනේ” යනුවෙන් ද මෙහිදී හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.
එබැවින්, කඩිනමින් නාමල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන්නැයි එහි සිටි පක්ෂ නායකයන්ට යෝජනා කළ විට, ප්‍රසන්න රණතුංග යෝජනා කර ඇත්තේ ඒ කටයුත්ත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්ම සිදුකිරීම මැනවි කියාය.
රටේ තත්ත්වය පිළිබඳව කරුණු දක්වද්දී ආර්ථිකය ගැන කතා කිරීම ඇරඹිය යුත්තේ සැප්තැම්බර් වලින් පසුව බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
සාකච්ඡාව නිමා වීමෙන් පසු, චම්පක රණවක මුදුනේ තබා ගනිමින් ඒකාබද්ද විපක්ෂය තුළ නියෝජන වූ ඇතැමුන් සිය වික්‍ෂිප්තභාවය එකිනෙකා වෙත ඵල කර තිබේ.
- චරිත ශ්‍රී කුලතුංග –
