ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගල කරනවා.. – අනුරාධ තෙන්නකෝන්
1 min read
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් ලබන සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික ගොවිජන එකමුතුව නිවේදනය කරයි.
එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.
ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් කුඹුරු ඉඩම් වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමට අමාත්‍යවරයා කටයුතු කරන බවට තෙන්නකෝන් මහතා මෙහිදී චෝදනා කළේය.
පවතින නීති රීති සහ චක්‍රලේඛ අනුව කුඹුරු ඉඩම් ගොඩකිරීම හෝ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම තහනම් වුවද, අමාත්‍යවරයා බඩඉරිඟු බීජ ගෙන්වන මහා පරිමාණ සමාගම්වල කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ සභාපතිවරයා, ඔහු ගොවි ජනතාවගේ ප්‍රශ්න හඳුනා නොගෙන වගකීම් විරහිත ලෙස කටයුතු කරන බවත්, මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවත් පැවසීය.
“ලාල් කාන්ත මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙන් ඉවත් වන තුරු හෝ රජය ඔහුව ඉවත් කරන තුරු අපි ලබන සිකුරාදා සිට අලුත් වටයකින් සටන ආරම්භ කරනවා. ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි මේ අරගලය අත්හරින්නේ නැහැ,” යැයි අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
