මේ රජයට අපි හොඳටම රැවටුණා | සභාපති – ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය
1 min read
රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන දේශීය ව්‍යවසායකයින් වත්මන් රජයට ද රැවටී ඇතැයි ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපතිනි ටානියා අබේසුන්දර මහත්මිය පවසයි. ඇය මේ බව අවධාරණය කළේ මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදු කරමිනි.
දේශීය ව්‍යවසායකත්වය මුහුණ දී ඇති බරපතළ කනගාටුදායක තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ඇය, මෙරට ව්‍යවසායකයින් සැමදා සිදු කර ඇත්තේ බලයට පත් වන සෑම රජයකටම රැවටීම බවත්, වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසය ද අද වන විට බිඳ වැටී ඇති බවත් ප්‍රකාශ කළාය.
“අපි රටට වැඩිපුරම දායකත්වය දක්වන පිරිසක්. ඒ වුණාට අපි හැමදාම කරලා තියෙන්නේ හැම රජයකටම රැවටිච්ච එක. දැන් මේ රජයටත් අපි ඇත්තටම රැවටිලා. ව්‍යවසායකත්වය වෙනුවෙන් සිදුවුණු මේ රැවටීම ගැන අපිට තියෙන්නේ ලොකු කනගාටුවක්. මොකද අපි දැන් ඉන්නේ කබලෙන් ලිපට වැටිලා.” යැයි ඇය සඳහන් කළාය.
රටේ පවතින ආර්ථික අවිනිශ්චිතභාවය හමුවේ ව්‍යවසායකත්වය රැකගෙන ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳව බරපතළ ගැටලුවක් මතු වී ඇති බව පෙන්වා දුන් සභාපතිනිය, රජයට කිසිදු පැහැදිලි දැක්මක් හෝ ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති බවට ද චෝදනා කළාය. ඩොලරයේ අගය පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය සහ කිසිදු පූර්ව සැලසුමකින් තොරව ගන්නා තීරණ හේතුවෙන් ව්‍යාපාර පවත්වාගෙන යාම අර්බුදයක් වී ඇති බව ඇය පවසයි.
වත්මන් රජය බලයට පත් වූයේ ව්‍යවසායකත්වය සුරකින බවට පොරොන්දු වෙමින් වුවද, වර්තමානයේදී ඔවුන් ගන්නා සියලු තීරණ මහා පරිමාණ ව්‍යාපාරිකයන් පමණක් රකිමින් පොදු ව්‍යවසායකයා විනාශ කරන තීරණ බවට පත්ව ඇතැයි ද ඇය සඳහන් කළාය.
රජයෙන් සෘජුව ප්‍රශ්න කරමින් ඇය මෙසේ ද පැවසුවාය
“ව්‍යවසායකයෝ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා, රටට ඉදිරි දැක්මක් අරගෙන බලයට ආපු ඔබතුමාලා, ඇයි දැන් අපිව මේ වගේ ආර්ථික මර්දනයකට ලක් වෙන පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ? පොලී අනුපාත (Interest rates) වැඩි කරලා ඩොලරය ශක්තිමත් කරන්නේ කොහොමද කියලා මම අහන්න කැමතියි. අපි රුපියල් ගෙවලද මේ භාණ්ඩ ආනයනය (Import) කරන්නේ? අද රටේ ආර්ථික අර්බුදයක් නැහැ කියලා සමහර අය කියනවා. නමුත් ඇත්ත තත්ත්වය ඕකයි.”
රටේ පවතින සැබෑ ආර්ථික තත්ත්වය වසන් කරමින් ඇතැමුන් ප්‍රකාශ නිකුත් කළ ද, දේශීය ව්‍යවසායකයා අද වන විට දැඩි අසීරුතාවකට පත්ව ඇති බව ටානියා අබේසුන්දර මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.
