මීගමුව මුහුදේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරක
1 min read
මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි සිටි ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම මුදාගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති බව වාර්තා වේ.
අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටින ධීවරයන්ගේ ආරක්ෂාව සහ ඔවුන් මුදා ගැනීම සඳහා නාවික හා ගුවන් හමුදා කණ්ඩායම් කටයුතු කරමින් සිටී.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බවයි.
එසේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර අගයක් ගන්නා බව සඳහන්ය.
එමෙන්ම කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව පවසයි.
