මියන්මාරයේදී ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙක් අභිරහස් ලෙස මිය ගිහින්.. තායි කාන්තාවක් අත්අඩංගුවට..
1 min read
මියන්මාරයේ යැංගොන් නුවරදී ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයකු අභිරහස් ලෙස මියගොස් ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට තායිලන්ත කාන්තාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යැංගොන් නුවර රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ (AP) පුවත් ඒජන්සිය වෙත ප්‍රකාශ කර ඇත්තේ, යැංගොන් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
එහෙත් එම මරණයට හේතුව හෝ සිදුවූ ආකාරය පිළිබඳව ඔවුන් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.
මියගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය සුරැකීම වෙනුවෙන් දැනට වෙනත් තොරතුරු ලබාදිය නොහැකි බව ද ඔවුහු පවසති.
කෙසේවෙතත්, නම හෙළිනොකළ රාජ්‍යතාන්ත්‍රිකයන් තිදෙනකුට අනුව, මියන්මාර පොලිසිය මෙම සිදුවීම සැලසුම්සහගත ඝාතනයක් (මිනීමැරුමක්) විය හැකි බවට සැක කරමින් පරීක්ෂණ පවත්වයි.
මීට සති දෙකකට පෙර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර 1.5ක් පමණ දුරින් පිහිටි, විදේශිකයන් බහුලව ගැවසෙන සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක තිබී මෙම මළසිරුර සොයාගෙන ඇත.
මියන්මාර පොලිසිය මේ පිළිබඳව මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැති අතර, තායිලන්ත විදේශ අමාත්‍යාංශය පවසන්නේ, අත්අඩංගුවට ගත් සිය රට වැසි කාන්තාවට අවශ්‍ය කොන්සියුලර් සහාය ලබාදෙමින් සිටින බවයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ මියන්මාරය දැඩි දේශපාලන අර්බුදයක පවතින පසුබිමකය.
