භාණ්ඩාගාර වංචාව මැද අබිරහස් දුරකථන ඇමතුමක්…!
1 min read
භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ මේ වන විට තීරණාත්මක අදියරකට එළඹ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ අදාළ මූල්‍ය හුවමාරුව සිදුවූ කාලසීමාව තුළ ලැබී ඇති බවට සැක කෙරෙන දුරකථන ඇමතුමක් පිළිබඳවයි.
අදාළ මුදල් ගනුදෙනුව සඳහා ඊමේල් පණිවුඩ හුවමාරු වෙමින් පවතින අතරතුර මෙම දුරකථන ඇමතුම ලැබී ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම ඇමතුම ලබාදුන් පුද්ගලයා සහ එය කුමන රටක සිට ක්‍රියාත්මක වූවක්ද යන්න අනාවරණය කරගැනීමට තාක්ෂණික විශ්ලේෂණයන් සිදු කෙරේ. මූල්‍ය හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ද පසුගියදා ප්‍රකාශ කළේ මෙකී ගනුදෙනු අතරතුර සැකසහිත දුරකථන ඇමතුමක් ලැබී ඇති බවයි.
දිවයිනේ විවිධ ස්ථානවලදී අත්අඩංගුවට ගත් විදේශිකයන් අතර, මෙම භාණ්ඩාගාර මුදල් කොල්ලයට සම්බන්ධ පරිගණක හැකරුන් සිටීදැයි යන්න පිළිබඳව ද විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.
පසුගිය මැයි 07 වැනිදා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේදී විදේශිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. වැලිසර අතරමැදි කඳවුරෙන් පැන විත් සිටි මොවුන්, 10 කණුව ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් නීති විරෝධී අන්තර්ජාල මූල්‍ය ජාවාරම්වල නිරත වී ඇති බව හෙළි විය.
මීට අමතරව, අප්‍රේල් 02 වැනිදා ද මෙවැනිම ජාවාරම්වල නිරත වූ විදේශිකයන් 152 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සියලු කණ්ඩායම් සහ මහා භාණ්ඩාගාරයෙන් මුදල් සොරකම් කිරීමේ සිද්ධිය අතර කිසියම් සෘජු හෝ වක්‍ර සබඳතාවක් පවතින්නේද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට පුළුල් ලෙස කරුණු සොයා බලමින් සිටියි.
