නිකරගුවාවේ මින් ඉදිරියට මැතිවරණ පවත්වන්නේ නැති බව ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා ප්‍රකාශ කරයි.
1 min read
මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන නිකරගුවාවේ මින් ඉදිරියට කිසිදු මැතිවරණයක් නොපවත්වන බව එරට ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා (Daniel Ortega) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව විපක්ෂයට බලයට පත්වීම සඳහා පවතින අවස්ථා සම්පූර්ණයෙන්ම අහිමි වී යන අතර ඔහුගේ ඒකාධිපති පාලනය තවදුරටත් තහවුරු වන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1979 වසරේ සිදුවූ වැදගත් විප්ලවීය සංවත්සරයක් අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, විපක්ෂයට රජය හෝ රාජ්‍ය බලය අත්පත් කරගැනීමට උත්සාහ කිරීම සඳහා මින් ඉදිරියට නිකරගුවාව තුළ කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවයි. ඇමරිකානු හිතවාදී දේශපාලන කණ්ඩායම්වලට නැවත බලයට පත්වීමට ඇති ඉඩකඩ මේ හරහා සදහටම අවසන් වන බව ද ඔහු පවසා තිබේ.
වත්මන් ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ වන සම-ජනාධිපති රොසාරියෝ මුරිලෝ (Rosario Murillo) මේ වන විට එරට සන්නද්ධ හමුදාවන් සහ අධිකරණය ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම පූර්ණ බලය තමන් සන්තකයට ගෙන ඇත. මීට පෙර අවසන් වරට 2021 වසරේ පැවැති මැතිවරණයේදී ද විපක්ෂයේ දේශපාලන නායකයින් සහ ව්‍යාපාරිකයින් අත්අඩංගුවට ගනිමින් මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට මොවුන් පියවර ගෙන තිබුණි.
2025 වසරේදී සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මඟින් ජනාධිපති ධූර කාලය වසර 5 සිට වසර 6 දක්වා දීර්ඝ කිරීමට ද ඩැනියෙල් ඔර්ටේගා කටයුතු කළේය. නිකරගුවාව පුරා පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය මුළුමනින්ම බිඳ දමමින් එරට ඒකාධිපති පාලනයක් කරා පරිවර්තනය කර ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද මීට පෙර චෝදනා කර තිබේ.
