November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දෙවියනි, ඔබ කොහි ද ?

1 min read

මේ වැඩ සිටින්නේ උපුල්වන් දෙවියෝ ය. හෙළ ජනප්‍රවාදයට සහ බෞද්ධ ඉතිහාසයට අනුව උපුල්වන් දෙවියන් වූ කලී ලංකාවේ උපන් ස්වදේශීය ආරක්ෂක දෙවියෙක් ය. උපුල්වන් යන්නෙන් කියැවෙන්නේ “උත්පල වර්ණ” හෙවත් “නිල් මානෙල් මලක පැහැය ඇති” යන්න ය.

උපුල්වන් දෙවියන්ට බුදුරජාණන්වහන්සේ පවරනු ලැබුවේ (උන්වහන්සේගේ නියමයෙන්) ශ්‍රී ලංකාව සහ බෞද්ධ ශාසනය සුරැකීමේ ප්‍රධාන කාර්යභාර්ය ය. දීපවංශය හා මහාවංශය වැනි පැරණි වංශකතාවල ලංකාවේ රැකවලුන් ලෙස හැඳින්වෙන්නේ “උපුල්වන්” දෙවියන් ය.

පළමුවන දප්පුල රජ දවස (ක්‍රි.ව. 7 වැනි සියවස) දෙවිනුවර වෙරළට දිව්‍යමය සුවඳක් විහිදුවමින් විශාල “කිහිරි” ලී කඳක් (සමහර තැනක රතු සඳුන් කඳක්) පාවි ආවේ ය. මෙම ලී කඳ සාමාන්‍ය එකක් නොවන බව වටහාගත් රජු එයින් දේව රූපයක් නෙළීමට නියෝග කළේය. නමුත් කිසිදු මිනිස් වඩුවකුට එය කැපීමට හෝ හැඩ කිරීමට නොහැකි වූයේය. ජනප්‍රවාදයට අනුව, අවසානයේ දී විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා වඩු බ්‍රාහ්මණයකු ලෙස වෙස්වලාගෙන පැමිණ, එක රැයකින් එම ලී කඳෙන් අලංකාර “නිල් පැහැති” දේව ප්‍රතිමාවක් නිර්මාණය කරන ලද්දේය. මෙම කිහිරි ලීයෙන් නිම වූ නිසා උන්වහන්සේ මුල් කාලයේ “කිහිරැළි උපුල්වන් දෙවියන්” ලෙස ද හඳුන්වනු ලැබුවේ ය.

තවත් ජනප්‍රවාදයකට අනුව, උපුල්වන් දෙවියන් යනු, ලංකාවේ විසූ සැබෑ මිනිස් රජකුමරෙක් ය. එම ජනප්‍රවාදයට අනුව, රෝහණ දේශයේ (වර්තමාන දකුණු පළාතේ) විසූ ප්‍රාදේශීය රජෙකුට සහ බිසවකුට දරුවන් නොමැතිව සිටිය දී ඔවුන් කල දැඩි දේව කන්නලව්වක ප්‍රතිඵලයක් ලෙස පුත් කුමරකු උපත ලබා තිබේ. මෙම කුමාරයා උපතින්ම ඉතා අලංකාර, නිල් මානෙල් මලක (උත්පල) පැහැය ගත් ශරීරයකින් යුක්ත ය. මේ නිසා ඔහුව හැඳින්වූයේ “උත්පලවර්ණ” ලෙසය.

ජනප්‍රිය පුවත්  තෝරදෙනියලාගේ තේරවිල්ල

බුද්ධිමත් මෙන්ම සටන්කාමී කුමරකු වූ ඔහු, දකුණු වෙරළ තීරයෙන් ලංකාවට පැමිණි විදේශීය සතුරු ආක්‍රමණ රැසක් පරාජය කළ දකුණේ ජීවත් වූ වැසියන් ආරක්ෂා කළේය. ඔහුගේ මරණයෙන් පසු, කෘතගුණ සැලකීමක් ලෙස ගැමියන් ඔහු වෙනුවෙන් දේවාලයක් තනා “රට රකින දේවතාවෙකු” ලෙස වන්දනා කිරීම ආරම්භ කළේයැයි ඒ ජනප්‍රවාදයට අනුව කියවෙන්නේය.

මහාවංශය හා දීපවංශය වැනි ඉතා වැදගත් බෞද්ධ මූලාශ්‍රවල එන විශ්වාසය වන්නේ උපුල්වන් දෙවියන් යනු බුදුරජාණන්වහන්සේගේ නියමයෙන්, ලංකාව ආරක්ෂා කිරීමට පත් කළ දිව්‍යමය භාරකරුවකු වන බවය. ඒවාට අනුව, බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පාන මඤ්චකයේ සිටිය දී සක්‍ර දේවේන්ද්‍රයා කැඳවා ලංකාද්වීපය සහ බුද්ධ ශාසනය ආරක්ෂා කරන ලෙස පැවසුව ද සක්‍රයා තමන්ට වඩා එම කාර්යයට සුදුසු “නිල් පැහැති ශරීරයක් ඇති” උපුල්වන් දිව්‍යරාජ්‍යාට එම වගකීම පවරන ලද බවය.

15 වන සියවස තුළ, එනම් කෝට්ටේ යුගයෙන් පසුව, දකුණු ඉන්දීය බ්‍රාහ්මණ සහ හින්දු ආභාසය ලංකාවට තදින්ම බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස දෙදෙනාගේම ශරීර වර්ණය නිල් පැහැය වීම නිසා උපුල්වන් දෙවියන් හින්දු විෂ්ණු දෙවියන් ලෙසට රූපාන්තරණය විය. දැන් මහජන මනස තුළ ඉන්නේ, ඒ රූපාන්තරණය වූ “දෙවිනුවර විෂ්ණු දෙවියන්” ය. එහෙත් මෙරට බෞද්ධ සංස්කෘතිය තුළ විෂ්ණු දෙවියන් සලකන්නේ, හින්දු ආගමික දෙවියකුට වඩා, මතු බුදුවන (බෝධිසත්ව) බුදු සසුන රකින ආරක්ෂක දේවතාවකු ලෙසය.

උපුල්වන් දෙවියන් හා බැඳුණු ජනවහර බොහෝ ඇත්තේ ය. ඉන් එකක් වන්නේ “දෙවිනුවර දෙවියන් දුන්නත් රජුන් නොදේ” යන්නය. දකුණේ ජනතාව මෙයින් අදහස් කරන්නේ, තමන්ට අභය දෙනා මුහුදු බිය දුරු කර දෙන දෙවිනුවර උපුල්වන් දෙවිදුන් යමක් ලබා දුන්නත්, භූමියේ සිටින පාලකයා මසුරුනම්, එය අහිමිවන බවය. තවදුරටත් පැහැදිලි කරන්නේනම්, භූමියේ සිටින පාලකයාගේ “කරුමය” දෙවියන්ගේ බලය ද දුබල කරන බවය.

ජනප්‍රිය පුවත්  හරිනිගේ ඇරිල්ල

දැන් මේ වෙමින් පවතින්නේ එයම ය. දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත එන්නේ ක්‍රි.ව. 1258 (දඹදෙනි යුගයේ) පටන් ය. දඹදෙනි යුගයේ රජකම් කළ 11 වැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා මෙහි සමාරම්භකයා වූයේය. පෘතුග්‍රීසි ආක්‍රමණ කාලයේ තෝමේද සූසා යටතේ පැමිණි පෘතුග්‍රීසි හමුදාව දෙවිනුවර දේවාලය කොල්ලකා සපුරා විනාශ කරන ලද්දේය. මේ හේතුවෙන් දේවාභරණ සහ පුදසිරිත් ආරක්ෂා කර ගැනුම සඳහා එවකට ස්වදේශීය පාලනය විසින් උපුල්වන් දේව ප්‍රතිමාව සහ පෙරහැර චාරිත්‍ර මාවනැල්ලේ “අලුත් නුවර දේවාලය” වෙත තාවකාලිකව බාර කළේය. වසංගත හා යුධමය වාතාවරණයන් තුළ හැර මේ ඓතිහාසික සංස්කෘතික මංගල්‍යය හැමවිටම අඛණ්ඩව පැවැතී ඇත්තේය.

දැන් අපේ රට පාලනය කරන්නේ පළවැනි පැලවත්තේ රජු අනුර කුමාරතුමාණෝ ය. ලන්ඩනයේ වෙසෙන, එතුමානෝගේ කුළුපග අතිජාත මිත්‍ර උවිදු කුරුකුලසූරිය නැමැති මිතුරුතුමාට අනුවනම් “අනුරතුමා” ය. මේ “අනුරතුමා” දැන් කියන්නේ කංජිපානිගේ නියෝගය පරිදි සැමට කාවාඩි නටන්න නොදෙන්නේ නම් කාවාඩි දෙවිනුවර පෙරහැරෙන් ඉවත් කළ යුතු බවය. කංජිපානිතුමාට ගරුකර අනුරතුමාත්, අනුරතුමාට ගරුකර පොලිස්පතිතුමාත්, එතුමාට ගරුකර දෙවිනුවර බස්නායක නිලමෙතුමාත් දැන් තීරණය කර ඇත්තේ දෙවිනුවර පෙරහැර “කාවාඩි” නැටුම් නැතුව කරන්නට ය.

ජනප්‍රිය පුවත්  සංගක්කාරගේ ගන්දස්සාරය

ඉදිරියේ දී මහනුවර දළදා පෙරහැර ද බකල් කරන්නට අවශ්‍ය වන්නේ එහි දියවඩන නිළමෙට “කංජිපානි”තුමකුගේ එක දුරකථන ඇමතුමක් ය. එවිට සුළුඳිය පහවන්නේ අප නායක අනුරතුමානෝගේ ය. එවිට ද කියනු ඇත්තේ දළදා පෙරහැර මහජන ප්‍රදර්ශනයට විවෘත නොකර මාලිගාව වටේ පමණක් සිදුකරන ලෙසය. දැන් රට ගමන්කරමින් ඇත්තේ එතැනටය.

බුදුරජාණන්වහන්සේගේ නියමයෙන් ලංකාව සහ බුදුසසුන ආරක්ෂා කිරීමට පත්කළ දිව්‍යමය භාරකරුවා වූ උපුල්වන් දෙවියෝ මේ සියල්ල දෙස බලා සිටින සේක. උන්වහන්සේට සිතෙනු ඇත්තේ, මේ අනුරතුමා ප්‍රභාකරන්තුමා සිටින කාලයේ රට පාලනය කරානම් අවලංගු කරන්නට සිදුවන සංස්කෘතික උත්සව ප්‍රමාණය පිළිබඳවය. එකල්හි අනුරතුමා රජ පුටුවේ සිටියේනම් ඔහු “කැන්සල්” කරනු ඇත්තේ කොටි සමඟ සටන් කිරීම ය. මහ පොළොවෙන් උපන් අනුරතුමා ගැන දැන් රටේ ජනතාවට පට්ට ආඩම්බර විය හැකිය.

දැන්, දෙවිනුවර බාර කංජිපානිට ය. උපුල්වන් දෙවියන් දැන් එහි වැඩ ඉන්නේ “ෂේප්” එකේය. මීගමුව ලෙල්ලම බාර කාදිනල්ට ය. මාලිමාවේ නගරාධිපතිතුමා ඉල්ලා අස්වූයේ ඒ යථාර්ථය පිළිගෙනය. උතුර අයිති දෙමළ අන්තවාදීන්ට ය. ඉතුරු චුට්ට අයිති අනුරතුමාට ය. අපට තියෙන්නේ දෙන දේ කා වෙන දේ බලා සිටින්නට ය. අනුරතුමා පමණක් රැකුනොත් අපිට ඇතිය. කාවඩි නටන්නට හැකි දිනයක් උදාකරනු ඇත්තේ ද අනුරතුමා ය. ’76 වසරක ශාපයේ හැටි එහෙම ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x