June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුලප්පු වුණ අලියා ආබාධිතයාට ගහන්න එද්දී බුදු හාමුදුරුවනේ බේරාගන්න කියා මිනිස්සු කෑගහලා

1 min read

දික්වැල්ල ඓතිහාසික වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරේ වාර්ෂික වෙසක් මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර පෙරේදා (31දා) සවස පැවැතියේ විශාල ජනතාවකගේ සහභාගීත්වයෙනි.

පස්වරු 2.10 ට යෙදුණ සුබ මොහොතින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කොට ආරම්භ කරන ලද පෙරහර බෙලිඅත්ත, මාතර පැරණි ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් ආරම්භ කළේ දෙස් විදෙස් නරඹන්නන් රැසක් මාර්ගය දෙපස මහත් ආසාවෙන් බලාසිටියදී ය.

පෙරහර ගමන් අරඹා ප්‍රධාන මාර්ගය ඔස්සේ යෝනක පුර හරහා දික්වැල්ල නගරය දෙසට ගමන් කරමින් සිටියදී කොන්දෙණිය හන්දියට නුදුරින් පෙරහරේ ගමන් කරමින් සිටි වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරට අයත් “අර්ජුන හස්තියා” එකවර කලබල වී මාර්ගය මැද වටයක් කැරකී ඇත් ගොව්වාට තදබල පහරක් එල්ල කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ රැස්ව සිටි පෙරහර නරඹන්නන් භීතියට පත් කරමිනි.

ඒ වන විට වේලාව පස්වරු 4.30 පමණ විය. අලියා නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමග නැටුම් කණ්ඩායම් මෙන්ම නරඹන්නන් ද බඩු මුට්ටු පෙරළාගෙන හිස් ලූ ලූ අත දිව ගියේ තම ජීවිතය රැකගැනීමේ අරමුණින් ය.

කුලප්පු අර්ජුන හස්තියා ද වට කැරකෙමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් සිටියදී ආරක්ෂිතව සිටි පිරිස් හස්තියාට සමීපයෙහි සිටි පිරිසට ආරක්ෂිත වන්නට ඉවත්වන ලෙස කියමින් කෑමොර දෙද්දි මධුවිතෙන් සප්පායම් වූ ඇතැම් අය ඒ ගණන් නොගෙන සිටින ආකාරයක් දක්නට ලැබිණි.

ජනප්‍රිය පුවත්  අනුරලා බේරගන්න සිරස බසී!

“අන්න බීපු කාවාඩිකාරයෙක් ඉස්සරහට එනවා අරයට අයින් වෙන්න කියන්න”

යනුවෙන් ජනතාව කෑ මොරදෙමින් බැණ වදිමින් ඔවුන්ට ඉවත්වන ලෙස කියන අයුරුද දක්නට ලැබිණි.

ඒ අතර පහර කෑමෙන් ඉවතට විසි වූ ගොව්වා නැගිට අර්ජුන හස්තියා සිටින දෙසට පැමිණිය ද ඔහුට අර්ජුන එකවර මෙල්ල කර ගැනීමේ හැකියාවක් නොවිණි. ඔහු බීමත්ව සිටින්නේ ද යන්න දුටුවන්ට සැක සිතුණේ ඔහුගේ හැසිරීම්වල එවැන්නක් පෙන්නුම් කළ නිසාය.

විටක ගොව්වා පිටුපසින් පැමිණ අර්ජුන හස්තියාගේ වලිගයේ එල්ලී අවධානය වෙනස් කරමින් ඔහු වෙනතකට හරවා ගැනීමට උත්සාහ දරන අයුරුද දක්නට ලැබිණ.

අතිශය සංවේදී අවස්ථාව උදාවූවේ ඉන් අනතුරුවය. කෝප ගත් හස්තියා එකවර හැරී හොඬය ඉදිරියට දික්කොට දැඩි සේ ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරෙමින් ඉදිරියට එන අතර දෙපස පෙරහර නරඹමින් සිටි පිරිස ඉඩ ඇති තැන් සොය සොයා ආරක්ෂිතව දිව යන්නට උත්සාහ ගත්තේය.

හිටගෙන පෙරහර බලමින් සිටි පිරිස අතර එහි ඉදිරියෙන් බිම වාඩි වී පෙරහර නරඹමින් සිටි ආබාධිත වැඩිහිටියකු මාර්ගයේ තනිවිය.

කෝප ගත් අර්ජුන හස්තියා දිව ආවේ එම අසරණ වැඩිහිටියා දෙසටයි. එය දුටු ආබාධිත වැඩිහිටි තැනැත්තා හස්තියා දෙසට දෑත් යොමු කොට අයදිමින්, නැවත දෑත් එක්කොට හස්තියාට වැඳ වැටෙමින් කන්නලව් කළේ තම ජීවිතයට කරදරයක් නොකරන ලෙසයි. එහෙත් වියරුව හැසිරුණ අර්ජුන හස්තියා එය ගණනකට නොගෙන අසරණ වැඩිහිටියා දෙසට ඍජුව පැමිණෙද්දි ඒ අසල නිවසක උඩුමහලේ සිටි කාන්තාවන් හා කුඩා දියණියන්වරුන් එක හඬින් ලතෝනි නගන්නට විය.

ජනප්‍රිය පුවත්  ඊශ්‍රායලයේ, කටාරයේ සහ ඇමෙරිකාවෙත් මිසයිල හිඟයක්!

“අනේ බුදුහාමුදුරුවනේ අසරණයා බේරාගන්න. කරදරයක් වෙන්න දෙන්න එපා”

“අනේ බුදුහාමුදුරුවනේ බේරා ගන්න. අසරණයා බේරාගන්න”

“අනේ ඒ මනුස්සයාට කරදර කරන්න එපා. කරදර කරන්න එපා. හාමුදුරුවනේ පිහිටවන්න”

ආදී ලෙස දිගින් දිගටම කෑ මොර දෙද්දී ඒ දෙසට ඇස යොමු කළ හස්‌තියා වේගවත් ගමන අඩාළ කරන අයුරු දක්නට ලැබුණේ හාස්කමක් ලෙසිනි. එහෙත් ඔහු ඉදිරියට පැමිණියේය. ඒ අතර අසරණ වැඩිහිටියා දෑත් එක්කොට දිගින් දිගටම වඳිමින් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ආයාචනා කරන්නටවිය.

අසරණ වැඩිහිටියා දෙසට අර්ජුන හස්තියා ආසන්න‍වෙද්දී කාන්තාවන්ගේ හා දරුවන්ගේ කන්නලව්ව තවත් තවත් වේගවත් වූ අතර එය ඇසීම මෙන්ම දැකීමද අතිශය සංවේදී අවස්ථාවක් විය.

බුදු හිමියන් අමතමින් කාන්තාවන්ගේ මෙන්ම දරුවන්ගේ සිදු කළ කන්නලව්වේ වේගයක් සමග කෝප ගත් අර්ජුන හස්තියාගේ ස්වරූපය සහමුලින්ම වෙනස් වූ අතර මාර්ගයේ බිම වාඩිගෙන සිටි ආබාධිත අසරණ වැඩිහිටියා දෙසට හොඬය දිගු කළ අර්ජුන හස්තියා කිසිදු කරදරයක් නොකොට සෙමින් සෙමින් පසුපසට පය තැබුවේ මහා හාස්කමක් සිදු වූවාක් මෙනි. එම අවස්ථාව බලා සිටි සියල්ලන්ගේ සිත්වලට සැනසුමක් ලබාදුන් අවස්ථාවක් විය.

ජනප්‍රිය පුවත්  රනිල් වෙනුවෙන් පැමිණි නීතිඥයන්ගෙන් අධිකරණය පිරී යයි ! (BREAKING NEWS)

ලද අවසරයෙන් ප්‍රයෝජන ගත් සිත හයිය පුද්ගලයන් කිහිපදෙනකු ඉදිරියට පැන ආබාධිත අසරණ වැඩිහිටියා එතැනින් ඉවත් කරගැනීමට කටයුතු කළ අතර සිදුවන්නට ගිය මහා කරදරයකින් ජීවිතයක් බේරා ගත්තේ ය.

ඒ අතර අර්ජුන හස්තියා සන්සුන්ව පසුබසිමින් සාමාන්‍යකරණය වන අයුරු දැක සියලු දෙනාටම ඇති කළේ සිතේ සතුටකි. පසුව කළ සොයා බැලීමේදී පොලිසිය සඳහන් කළේ ඇත් ගොව්වා බීමත්ව හැසිරීම නිසා අර්ජුන හස්තියාගේ මෙම නොසන්සුන්තාව සිදුව ඇති බවයි. ප්‍රදේශවාසියකු පැවසුවේ පෙරහරට පෙර දහවල් කාලයේ ඇත්ගෝව්වා බීමතින් සිටීම නිසා පුද්ගලයකුගේ පහර කෑමකටද ලක්ව ඇති බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x