June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“කිසිවෙකු සමඟ නඩුව ගැන සාකච්ඡා එපා” – බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියකට විනිසුරු මඩුල්ලෙන් නියෝගයක්

1 min read

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව
සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් සමග කතා නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උපේක්ෂා ෂම්මි දෙනාවත්ත මහත්මියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය

අදාළ නඩුවේ සාක්ෂි විභාගය ඊයේ දිනට අවසන් කළ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.

මෙම නඩුවේ දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා එහිදී සාක්ෂිකාරිය ගෙන් හරස් ප්‍රශ්න විමසීම වැඩිදුරටත් සිදු කළේය.

එහිදී ජනාධිපති නීතිඥවරයා 2022 සැප්තැම්බර් මාසයේ දී එවකට සෞඛ්‍ය ඇමතිවරයා සමග පැවති රැස්වීමකට අදාළ රැස්වීම් සටහන් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ අතර “එම සටහන් අනුව , ඇගයීම් කමිටුවේ සාමාජිකයන් වූ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක සුදර්ශන සහ සහකාර අධ්‍යක්ෂකවරිය සහභාගි වූ බව සටහන්ව තිබෙනවා නේද ?”යනුවෙන් ප්‍රශ්නයක් මතු කළේය.

“එසේය ස්වාමීනී” යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය.

සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත

“එම රැස්වීම සඳහා ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා වූ එවකට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ ඖෂධ සංස්ථාවේ එවකට සභාපතිව සිටි සරත් ලියනගේ සහභාගි වූ බවට සටහනක් වෙනවාද?” යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය එවැනි සටහනක් ඇති බව කියා සිටියාය.

මෙම ප්‍රසම්පාදනයට අදාළව ලැබුණු ලංසු ඇගයීම අදාළ කමිටුවේදී සිදු කෙරුණ අතර එහිදී අනිවාර්යයෙන්ම සලකා බැලුණු කරුණු තිබුණු බව සාක්ෂිකාරිය තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය.

“මෙම ඇගයීම් කිරීමේදී මිල සහ කාලය පිළිබඳව වෛද්‍ය සමන් රත්නායක මහතා ලබා දුන් උපදෙස් එම අනිවාර්ය කාරණා අතරත් තිබෙනවා නේදැ?”යි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර ඇය එහිදී සඳහන් කළේ මිල සහ කාලය පිළිබඳව රත්නායක මහතා උපදෙස් ලබා දුන් කාරණා මෙම අනිවාර්ය කාරණා ඇතුලට අයත් වන අතර ඊට අමතර කාරණා සම්බන්ධයෙන්ද උපදෙස් ලැබුණු බවය.
” එලෙස උපදෙස් ලැබුණු අලුත් කාරණය තමයි WOR සහතිකය නිකුත් කිරීම වෙනම සලකා බලන බව, නේද?” යැයි එහිදී ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකාරිය ඊට එකඟතාවය පළ කළාය.

ජනාධිපති නීතිඥවරයා:
WOR සහතිකය නිකුත් කරන්නේ NMRA එකෙන් බව ඔබ දන්නවාද ?

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී

ජනාධිපති නීතිඥවරයා:
ඒ සඳහා අදාළ සැපයුම්කරු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කළ යුතු බව ඔබ දන්නවාද ?

සාක්ෂිකාරිය: ඒ පිළිබඳව පැහැදිලි වැටහීමක් නෑ

ජනාධිපති නීතිඥවරයා : WOR එකක් දෙන්නේ නිශ්චිත ඖෂධ ප්‍රමාණයක් සීමිත කාලයකට ආනයනය කිරීමට බව ඔබ දන්නවාද ?

සාක්ෂිකාරිය :ඒ ගැන ලොකු අවබෝධයක් නෑ ස්වාමීනී .

ජනාධිපති නීතිඥවරයා :තිබුණ අවබෝධය ඇතුලේ ඒ බව දන්නවාද ?

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි .

ජනාධිපති නීතිඥවරයා :ඒ සඳහා ගැනුම් ඇනවුමක් නිකුත් කළ යුතු බවට අවබෝධයක් ලබා ගත්තාද ,?

සාක්ෂිකාරය :මෙම ඇගයීම් කරන අවස්ථාවේදී ඒ ගැන දැනගත්තේ නෑ. පසු අවස්ථාවකදී සාකච්ඡා සටහන් දැක්කම තමයි දැන ගත්තේ.

ජනාධිපති නීතිඥවරයා :එහිදී ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ම කියල තිබුණා ගැනුම් ඇනවුමක් අවශ්‍ය බව නේද?

සාක්ෂිකාරිය: ඒ බවට සටහනක් තිබෙනවා

“WOR ලබා ගැනීම වෙනම ආයතනයකින් සිදුකිරීම නිසා ඒ පිළිබඳව අවධානය යොමු නොකර ඇගැයීම් කාර්ය දිගටම සිදු කළාද?” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එම ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළාය.

“WOR නිකුත් කිරීම ගැන ඇය දන්නේ නෑ කියලා කිව්වා.ඇගෙන් ඒ පිළිබඳව අහන්න බෑ”යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රකාශ කළාය .

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එම අවස්ථාවේදී ප්‍රකාශයක් කරමින් ‘ඇය ඒ ගැන නොදන්නා බව කිව්වේ නෑ. ඇය යමක් දන්න බව කීවා “යනුවෙන් සඳහන් කළේය .

WOR නිකුත් කිරීම සඳහා වෙනම ඇගයීම් කරන බවත් ඇගයීම් කටයුතු කරගෙන ගිය බවත් ඇය කිව්වා. ඒ නිසයි එම ප්‍රශ්නය යොමු කළේ” යනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා එහිදී සඳහන් කළේය .

එහිදී සාක්ෂිකාරිය ප්‍රකාශ කළේ ” ඇගයීම් කටයුතු , ගුණාත්මක කරුණු සම්බන්ධයෙන් වෙනම බලන බව කිව්වා .ලැබුණු උපදෙස් මත කටයුතු කළා” යනුවෙනි.

“එම උපදෙස් වලට අදාළ සටහන් රැස්වීම් සටහනේ තිබෙනවා නේද ?”යි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය “තිබෙනවා ස්වාමීනි “යනුවෙන් පිළිතුරු ලබාදුන්නාය. එම සටහන් මම දැක්කේ අදාල ඇගයීම් කටයුතු සිදුකිරීමෙන් පසුව 2024 වසරේදී යි. යනුවෙන් සාක්ෂිකාරී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ජනප්‍රිය පුවත්  ලක්මාලි…. චී……චී…..චී..!

එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඒ සටහන යනු කුමක්ද යනුවෙන්ප්‍රශ්න කර සිටියේ ය .

අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡා සටහන්” යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.

“ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙවෙනි කටඋත්තරය දෙද්දී ඒ සටහන බාර දුන්නා නේද යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී “එසේය ස්වාමීනි” යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.

එහිදී ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ ඔබ ස්වේච්ඡාවෙන් නේ ඒ සටහන ලබා දුන්නේ, ඔබෙන් ප්‍රශ්න කිරීමටත් කලින් .ඒ අවස්ථාවේදී ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වද මේ සටහන් දැක්කේ 2024 දී කියලා,? යනුවෙනි.

” මට ඒ ගැන මතකයක් නෑ .සමන් රත්නායක මහතා කිව්වා රැස්වීමෙන් පසු උපදෙසක් දෙන බව. එසේ ඔහු කියූ බව සනාථ කිරීම සඳහා තමයි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ලියවිල්ල දුන්නේ” යනුවෙන් සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය .

ජනාධිපති නීතිඥවරයා :ඒක ලැබුණේ කවදද ?

සාක්ෂිකාරිය: මට ප්‍රශ්නය පැහැදිලි නෑ .

ජනාධිපති නීතිඥවරයා :පැහැදිලි නැතිවෙනවා බොරු කියනකොට. ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙනකොට ඔය කියන විදියට මේ සටහන දැකල දින හැත්තෑවක් පමණක්නෙ ගතවෙලා තිබුණේ. 2024දී මිනිට් සටහන් දැක්කා නම් ඒක අලුත් කරුණක්. අලුත් කරුණක් නම් ඔබට ඒ ගැන ප්‍රකාශ කිරීමට මතක් විය යුතුයි නේද?

සාක්ෂිකාරිය:
සමන් රත්නායක මහතා දුන් උපදෙස සනාථ කිරීම සඳහා තමයි මම ඒ සටහන් දුන්නේ

ජනාධිපති නීතිඥවරයා : මම යෝජනා කරනවා ඔබ දිවුරුම් පිට අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන බව, වැදගත් කරුණු ගැන වැරදි නිරූපණයක් කිරීමට .

සාක්ෂිකාරිය: නැත ස්වාමීනී

එහිදී අධිකරණයේ ඇමතූ ජනාධිපති නීතිඥවරයා “ස්වාමීනී මෙම මිනිට් සටහන 2024 දී ප්‍රථම වරට දුටු බවට සාක්ෂිකාරිය අද දින කරන ලද ප්‍රකාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශය ලබාදෙමින් අදාළ මිනිට් සටහන දුන් අවස්ථාවේදී සඳහන් කර නොමැති වීම ඌනතාවයක් ලෙස අධිකරණයේ අවධානයට යොමු කරනවා” යනුවෙන් සඳහන් කළේය.

අනතුරුව සාක්ෂිකාරියගේ අවධානය ඖෂධ ඇගයීම සම්බන්ධයෙන් උපයෝගී කරගත් ලේඛන වලට යොමු කළ ජනාධිපති නීතිඥවරයා ඖෂධ ඇගයීමේදී සම්පූර්ණ කිරීමට ලබාදුන් ලේඛනය සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටියේය.

එහි කොළම් 18ක් ඇති අතර කමිටුවේ නිර්දේශය සඳහන් කිරීම 19වන කොළමේ සටහන් කළ යුතුව තිබුණා නේද “යැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය
“එසේ ස්වාමීනී” යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.

එහි “හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් නිර්දේශයක් සිදුකර සටහන් තබා තිබෙනවාද?” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් සාක්ෂිකාරියට යොමු කළේය .

එහිදී ඇය සඳහන් කළේ අදාළ වෛද්‍යවරු හා සහකාර අධ්‍යක්ෂකවරිය තොරතුරු ලබාදීමේදී සද්භාවයෙන් කටයුතු කර ඇති බවට වන විශ්වාසය මත තමයි ඊට අත්සන් කළේ ” යැයි
ඇය ඊට පිළිතුරු ලබා දුන්නාය .

ජනාධිපති නීතිඥවරයා:
ඔබ රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරිණියක්නේ පරිපාලන නිලධාරිනියක් විදිහට පහළ නිලධාරින් විසින් ලිපිගොනු යොමු කරද්දී ඔවුන් නිවැරදිව කටයුතු කරන බවට විශ්වාසයෙන් නේද වැඩ කරන්නේ?

සාක්ෂිකාරිය : එසේ ස්වාමීනී, මගේ යටතේ වැඩ කරන නිලධාරීන් ගැන මට විශ්වාසයි ඒ අයගේ ලේඛන පරීක්ෂා කර බලලා මම අත්සන් කරනවා .

ජනාධිපති නීතිඥවරයා :ඔබ වෛද්‍යවරියක් නෙමෙයිනේ.

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී .

ජනාධිපති නීතිඥවරයා :එම කමිටුවේ සිටි ජේෂ්ඨ සහ එකම පරිපාලන නිලධාරිනිය ඔබ?.

සාක්ෂිකාරිය :ඔවුන් සද්භාවයෙන් කටයුතු කරන නිසා මම ඊට එකඟ වුණා .

ජනාධිපති නීතිඥවරයා :ඇයි ඔබ සද්භාවයෙන් සද්භාවයෙන් යැයි හැම වෙලාවෙම කියන්නේ. එය වැඩි වශයෙන් කීවාම ගැටළුවක් වෙනවා .

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය : මා ඊට විරුද්ධයි .එලෙස ප්‍රකාශ කරන්න බෑ.

සභාපති විනිසුරුවරයා : ඒ ගැන කියන්න පුළුවන්

ජනාධිපති නීතිඥවරයා :ඔබ සද්භාවයෙන් කියන එක හැම වෙලාවෙම කියන්නේ කුමන හෝ අවස්ථාවක අසද්භාවයක් පෙනුනාද ?

සාක්ෂිකාරිය :නෑ ඒ අවස්ථාවේදී සද්භාවයෙන් කටයුතු කළ බව සිතුවා .

ජනාධිපති නීතිඥවරයා. දින පහක්ම ඔබ සත්භාවයක් දැක්කේ නෑ ?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනි

ජනාධිපති නීතිඥවරයා: සද්භාවයෙන් කියන එක කියන්න කියලා කවුරුහරි කිව්වද ?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනී

ජනාධිපති නීතිඥවරයා: කන්සල්ටේෂන් වලදී එහෙම කියන්න කියලා කිව්වද ?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනි

“ඇගයීම් කමිටුව විසින් කරන ලද නිර්දේශයේ මොකක්ද තියෙන්නේ?’ යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරිය ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ “එහි කියලා තියෙන්නේ අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනයට දෙන්න” කියලා . NMRA ලියාපදිංචිය ඇති ලන්සුකරුවන් නැති බවත් සටහන්ව තිබුණා.” යනුවෙනි.

“එහිදී ඔබ හොඳ අවධානයෙන් නේද කටයුතු කළේ” යැයි ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය එහිදී එසේය ස්වාමීනී” යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.
“ඔඛ හැමදේ ගැනම අවධානයෙන් හිටි නිලධාරිනියක්. නිවැරදි තොරතුරු දෙන බවට සෑහීමකට පත්වුණා. ඒ අනුව තමයි මෙම කමිටු තීරණයකට ආවේ නේද ?”යනුවෙන් නීතිඥවරයා සාක්ෂි කාරිය ගෙන් විමසා සිටියේය. ” එසේය ස්වාමීනි” යනුවෙන් ඇය පිළිතුරු ලබාදුන්නාය.
අදා ලේඛනයේ සඳහන් රිටොක්සිමැප් ඖෂධය සම්බන්ධයෙන් කළ නිර්දේශය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයා කරුණු විමසා සිටියේය.

ජනප්‍රිය පුවත්  මැදපෙරදිග යලි ඇවිලේ.. ඉරානයෙන් කුවේටයට සහ බහරේනයට මිසයිල ප්‍රහාර..

එහිදී සාක්ෂිකාරිය කියා සිටියේ” ලංසුකරුවන් ඉදිරිපත් කළ ලේඛන සහ පද්ධතියෙන් ලබාගත් තොරතුරු කටු සටහන් වලට ඇතුළත් කර කමිටු නිලධාරීන් සද්භාවයෙන් තොරතුරු ලබා දුන්නාය යන්න පිළිබඳ සෑහීමකට පත් වෙමින් අදාළ නිර්දේශයේ අත්සන් තැබූ බව “ය. එම නිර්දේශය අනුව අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනය වන දෙවැනි අඩුම ලංසුකරුට අදාල ටෙන්ඩරය ලබාදෙන ලෙස එමගින් නිර්දේශ කර ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.

“රිටොක්සිමැප් ඖෂධයේදී වෛද්‍යවරු දෙදෙනා සහ සහකාර අධ්‍යක්ෂකවරිය කිව්වා මේ බෙහෙත්වල දැඩි අවශ්‍යතාවයක් තියෙනවා මෙය පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක් කියලා දෙවැනි වැඩිම මිල උනත් අයිසොලේස් බයෝ ටෙක් පාමා ආයතනයට දෙන්න ඒ අනුව තීරණය කළා ,පද්ධතිය මගින් නිලධාරිනිය ගත් තොරතුරු ලබා දුන්නාය යන විශ්වාසය මත අදාල තීරණයට මම එකඟ වුණා” යැයි. සාක්ෂිකාරිය එහිදී දීර්ඝ විස්තරයක් කළාය

එහිදී “හියුමන්ඉමියුනෝග්ලොබියුලීන්” ඖෂධය අවම ලංසුකරුට WOR එකක් සහිතව සහ රිටොක්සි මැප් ඖෂධය දෙවැනි අඩුම ලංසුකරුට WOR එකක් සහිතව ලබාදීමට නිර්දේශය කර තිබෙනවා . NMRA ලියාපදිංචිය තිබූ සැපයුම්කරු වන් ලබාදුන් කාලසීමාව සමඟ එකඟවිය නොහැකි බව එහි සඳහන් වෙනවා නේද?” යනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය .

සාක්ෂිකාරිය එහිදී සඳහන් කළේ අදාළ නිලධාරීන් දැක්වූ පරිදි අදාළ නිර්දේශය සිදුකළ බව ය.

අධිකරණයේ හමුවේ ලකුණු කර ඇති 72 ගොනුවේ 82 ලේඛනය ට සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා “එහි සඳහන් 33,35,38,40 යන අනු අංක වලට අදාල ඖෂධයන් සම්බන්ධයෙන් කළ නිර්දේශය හියුමන්ඉමියුනෝග්ලොබියුලීන්” එන්නත ට කරන ලද නිර්දේශය හා සමාන දැ?”යි සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය.

“එසේය ස්වාමීනී “යනුවෙන් ඊට පිළිතුරු ලබාදුන් සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි අවස්ථා තිබූ බවය.

මෙම අවස්ථාවේදී එම නඩුවේ අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්න විජේසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කළේ ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයේ අවධානයට යොමු කරන ලද රැස්වීම් සටහන සම්බන්ධ සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් සීමිත වෙලාවකදී හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දෙන ලෙසය.

මෙම ලේඛනය තමන්ට අලුත් ලේඛනයක් බවත් හරස් ප්‍රශ්න විමසීමේදී එම ලේඛනය ඉදිරිපත්ව නොතිබූ නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නොහැකි වූ බැවින් අවශ්‍යතාවයක් වුවහොත් එම ලේඛනය මත හරස් ප්‍රශ්න කිරීමට මෙම අවසරය ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊට අවසර දෙමින් සඳහන් කළේ අනෙකුත් පාර්ශවයන්ගේ විරෝධතාවය යටත්ව එම හරස් ප්‍රශ්න විමසීම සිදුකළ හැකි බවය.

අනතුරුව දහවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

“සිටොක්සි මැප් ඖෂධයේදී නිර්දේශ කර තිබෙන්නේ දෙවැනි අඩු මිල ලංසු කරූට අවස්ථාව ලබාදීමට නේද?” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය ” එහෙම කළ අවස්ථා තිබුණා. නිලධාරින් දුන් තොරතුරු මත එම නිර්දේශය කළා “යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.

එහිදී ජනාධිපති නීතිඥවරයා : ඒ නිලධාරීන් දුන් තොරතුරු සම්බන්ධයෙන් සැකයක් ඇතිවුණාද ?

සාක්ෂිකාරිය,: නැත ස්වාමීනි

ජනාධිපති නීතිඥවරයා :
තොරතුරු අසත්‍ය බවට හැඟී ගියාද ?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනි .

ජනාධිපති නීතිඥවරයා: එහිදී අසත්භාවයක් දැනුනාද ?

සාක්ෂිකාරිය: නැත ස්වාමීනි, ඒ අවස්ථාවේදී මම ඔවුන් සද්භාවයෙන් කටයුතු කරන බවට විශ්වාස කරමින් අත්සන් තැබුවා.

ජනාධිපති නීතිඥවරයා :ඒ අවස්ථාව ගැන තමයි අහන්නේ? ඇගේ කළ අවස්ථාව හැර වෙන වෙන අවස්ථා ගැන නෙමෙයි.

සාක්ෂිකාරිය ;එසේය ස්වාමීනී

අධිකරණයේ හමුවේ ලකුණු කර ඇති ගොනු අංක 88 කෙරෙහි සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා එහි ඇති නිර්දේශ පිළිබඳව සාක්ෂිකාරයගෙන් විමසීමක් කළේය.

එම නිර්දේශ අනුව එහි සඳහන් ඖෂධ ලබාදීම සඳහා වටිනාකමින් තුන්වන ස්ථානයට ලන්සු ඉදිරිපත් කර ඇති ලන්සුකරුට මෙන්ම හතරවන ස්ථානයට ලන්සු ඉදිරිපත් කර ඇති ලන්සුකරුට අදාළ ටෙන්ඩරය පිරිනැමීමට නිර්දේශ කළ අවස්ථා කෙරෙහි සාක්ෂිකාරියගේ අවධානය යොමු කරන ලදී.

“එම ඖෂධය සම්න්ධයෙන් වෛද්‍යවරු දෙදෙනා සහ සහකාර අධ්‍යක්ෂවරිය කාල සීමාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කළ බව” සාක්ෂිකාරිය කියා සිටියාය.

ඖෂධ 188 කට අදාළ නිර්දේශ ඒ ඒ අවස්ථාවන්හි තොරතුරු මත පදනම් වෙමින් සිදු කළාද ? යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ අතර කමිටුවක් ලෙස එම කටයුතු කළ බව ඇය කියා සිටියාය.

ජනප්‍රිය පුවත්  ක්‍රෙඩිට් කාඩ් පොලීය ඉහළට

“ඔබ එම කමිටුවේ සභාපතිනිය නේද ?”යැයි ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ “මම සභාපතිනිය තමයි. එහෙත් විශේෂ වගකීමක් දක්වලා තිබුණේ නෑ ස්වාමීනි” යනුවෙනි .

අදාළ නිර්දේශය තමන් සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව වෙත ලබාදුන් අතර පිළිබඳව පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් බවද සාක්ෂිකාරිය කියා සිටියාය .

“මේ සම්බන්ධයෙන් ඔබ කිසිම කිසියම් තැනකට පැමිණිල්ලක් කළාද ? ප්‍රකාශයක් ලබා දුන්නාද?” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවය.

“එවැනි ප්‍රකාශයක් ලබාදීමේ හෝ පැමිණිල්ලක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණාද?” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අතර එවැන්නක් නොවූ බව සාක්ෂිකාරිය කියා සිටියාය.

අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය ඖෂධ සැපයීම සඳහා ඉහළම මිල ඉදිරිපත් කළ බවට සඳහන් සටහන් වලට සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා “මිල වැඩි අවස්ථාවේදී මෙම සැපයුම්කරුට ටෙන්ඩරය ලබාදීම සඳහා නිර්දේශ කළාද?” යනුවෙන් විමසීමක් කළේය.

“නැහැ කිසිම අවස්ථාවක වැඩි මිල ඇති ලන්සුකරු නිර්දේශ කළේ නෑ .මිල සම්බන්ධයෙන් බැලිය යුතු නිර්ණායක තිබුණා, ඒ අනුව අවම මිලට තමයි දුන්නේ. අදාළ සැපයුම්කරු එකම සැපයුම්කරු නොවන අවස්ථාවකදී හැර.” යනුවෙන් සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය.

තමන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යශයේ සේවය කරන අවස්ථාවේදී තවත් රාජ්‍ය අමාත්‍යාංශයන් දෙකක ලේකම්වරියන් ලෙස R.S.ගුණවර්ධන සහ A.K.W .M.N වීරසේකර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීනනියන් කටයුතු කළ අතර රාජ්‍ය අමාත්‍යාංශ අහෝසි කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ලේකම් තනතුරු අහෝසි වූ බවද සාක්ෂි කාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.

“පසුව ඔවුන් අතිරේක ලේකම් තනතුරට පත් වූ බව ඔබ දන්නවාද?” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර “ඒ පිළිබඳව මට දැනගැනීමට ලැබුණා” යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.

එම පත්වීම් ඔවුන්ටම පෞද්ගලික වන සේ තාවකාලිකව ලබා දී තිබූ බව දැන සිටියාද? යැයි ජනාධිපති නීතිඥවරයා විමසූ පැනයට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව අවබෝධයක් තමන්ට තිබූ බවය.

ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණි .

ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කරමින් සාක්ෂිකාරිය මුදා හරින ලදි.
මෙම නඩුව විභාගය හරස් ප්‍රශ්න වලට විභාග වන භාජනය වන බැවින් කිසිදු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් සාක්ෂිකාරියට දැනුම් දෙන ලදී.
මෙම නඩුවේ මීළඟ සාක්ෂිකරුවන් ලෙස පැමිණිල්ලේ සාක්ෂි ලැයිස්තුවේ 201 සාක්ෂිකරු සහ 216 වන සාක්ෂිකරු කැඳවන කැදවීමට අපේක්ෂා කරන බව සාක්ෂිකාරිය අධිකරණයට දැනුම් දී සිටියාය.

ඒ අනුව මෙම නඩුවේ වැඩිදුරු විභාග කටයුතු 18 වැනි සඳුදා සිදුකිරීමට නියම කෙරිණි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.

අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x